සතියක දී කොටස් වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වටිනාකම රු. බිලියන 155කින් ඉහළට

    November, 9, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය සතිය තුළ දී රු. බිලියන 155 කින් ඉහළ ගොස් තිබේ. සතිය ආරම්භයේ දී රු. බිලියන 2,494.26 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම නොවැම්බර් 06 දින සතියේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 2,649.30 ක් ලෙසින් වාර්තා වුණි. මේ අනුව රු. බිලියන 155.04 කින් හෙවත් 6.21%කින් 2020 නොවැම්බර් 02 සිට නොවැම්බර් 06 දක්වා සතිය තුළ දී කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි වර්ධනයක් වාර්තා වී තිබේ.

    මේ අතර සියලු කොටස් මිල දර්ශක වටිනාකම ද ගෙවී ගිය සතිය තුළ දී ඒකක 5,726.59 සිට ඒකක 6,080.09 ක් දක්වා ඒකක 353.50 කින් හෙවත් 6.19% කින් ඉහළ ගොස් ඇත.

    සතිය තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ වෙනස් වීම සඳහා ඉහළම දායකත්වය ලබාදුන් සමාගම් කොටස් 10 පහත පරිදි වේ.

    මෙම සතිය තුළ දී රු. බිලියන 16.77 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ අතර එය ඊට පෙර සතියේ වාර්තා වූ රු. බිලියන 4.99 ක පිරිවැටුම් වටිනාකම මෙන් තුන් ගුණයේ ඉක්මවා යාමකි.

    කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි විදෙස් ආයෝජකයින්ගේ දායකත්වය තවමත් පවතින්නේ ඉතා පහළ අඩියකය. පසුගිය සතියේ දී සමස්ත විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 308.76 ක් පමණක් වූ අතර එය සමස්ත පිරිවැටුමෙන් සියයට දෙකකටත් (1.84%) වඩා අඩු ප්‍රමාණයකි.