සති 10කට පසු සාර්ථක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්. රු. මිලියන 40,000 ක් රැස් කර ගනී

    January, 6, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (06) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 40,000 ක බිල්පත් නිකුත් කර තිබේ.

    මෙහිදී එක් එක් කල්පිරීමේ කාණ්ඩ අනුව පොළී අනුපාතික දින 90 - 4.71% ක්, දින 182 - 4.80% ක් හා දින 364 - 5.05% ක් වශයෙන් විය.

    අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගර බිල්පත් ප්‍රමාණයටම සරිලන පරිදි ලංසු පිළිගැනීමක් සිදුවූයේ සති 10කට පසුව වීම විශේෂත්වයකි.

    මීට පෙර සතිවල දීද රු. මිලියන 40,000 බැගින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණ ද ඒ සඳහා ලංසු අනුමත වූයේ පහත පරිදිය.

    2020 දෙසැම්බර් 30 - රු. මිලියන 18,769

    2020 දෙසැම්බර් 22 - රු. මිලියන 20,718

    2020 දෙසැම්බර් 16 - රු. මිලියන 26,842

    2020 දෙසැම්බර් 09 - රු. මිලියන 25,892

    2020 දෙසැම්බර් 02 - රු. මිලියන 34,317

    2020 නොවැම්බර් 25 - රු. මිලියන 37,436

    2020 නොවැම්බර් 18 - රු. මිලියන 7,650

    2020 නොවැම්බර් 11 - රු. මිලියන 9,190

    2020 නොවැම්බර් 04 - රු. මිලියන 19,011

    2020 ඔක්තෝබර් 27 - රු. මිලියන 32,492

    2020 ඔක්තෝබර් 21 - රු. මිලියන 40,000

    භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයක් වන අතර එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ. 

    භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ මුදල් වෙළෙඳපොළේ තවත් එක් කොටසකි.

    ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මුදල් වෙළෙඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවලට විකල්ප ද්‍රවශීලතා සහ ආයෝජන මූලාශ්‍ර සපයයි.

    තව ද, භාණඩාගාර බිල්පත් වෙළෙඳපොළෙහි පොලී අනුපාතිකයේ විචලනයන් කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පදනමක් ද ලබා දෙයි.  එසේ හෙයින් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ගනුදෙනු පරිමාව හා පොලී අනුපාතිකයන්හි වෙනස්වීම මූල්‍ය ආයතනවල වියදම, ලාභදායිත්වය හා ද්‍රවශීලතාව කෙරෙහි ද බලපායි.

    ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවිට වෙළෙඳපොළ කටයුතු හැසිරවීමේ දී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන ඇපකරයක් ලෙස යොදා ගනී.