සදහාරිත කණ්ඩායම ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක

    February, 14, 2017

    වාණිජ වන වගා ක්ෂේත්‍රයේ දැනට පවතින වඩාත් තිරසාර ආයෝජනය ලෙස සැලකෙන අගාවුඩ් වගා කිරීම සහ අලෙවිකරණය පිළිබඳ තවදුරටත් අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් සදාහරිත වැවිලි සමාගමේ නියෝජිතයෝ පිරිසක් පසුගියදා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක නිරත වූහ.

    ඇසෑම් ප්‍රාන්තය ඉන්දියාවේ අගාවුඩ් අගනගරය ලෙස සැලකෙන අතර, එහිදී වන වගා කළමනාකරණය අගාවුඩ් මිල කිරීම, කම්කරුවන් පුහුණු කිරීම සහ අලෙවිකරණ අවස්ථා හඳුනා ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ ඉන්දීය විශේෂඥයන්ගෙන් ලබා ගත් දැනුම සදාහරිත සමාගමේ ඉදිරි ගමන සඳහා ද බෙහෙවින් මහෝපකාරී විය. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිවිසුමේ පිහිටි ඇසෑම් ප්‍රාන්තය භූතාන සහ බංග්ලාදේශ දේශ සීමාවන්ගෙන් වට වී ඇත.

    "ඇසෑම් ප්‍රාන්තයේ අගාවුඩ් වගාකරුවන්ගේ අත්දැකීම් ලබා ගැනීමට මෙන් ම අපගේ විශේෂඥ දැනුම ඔවුන් සමග බෙදාහදා ගැනීමට ද මෙම සංචාරය අතරතුර අපට හැකි වුණා. එම දැනුම උපයෝගී කර ගනිමින් අපගේ පාරිභෝගික ජනතාව සඳහා විශිෂ්ට ආයෝජන අවස්ථා ළඟා කර ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා ඇසෑම් සංචාරය පිළිබඳව සඳහන් කළේය.

    සදාහරිත වැවිලි සමාගමේ වන වගා උපදේශක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් සුබසිංහ මහතා ද මෙම සංචාරය සඳහා සහභාගී වූයේය. ඔහු විසින් 'Gyrinops Walla: Recently discovered Agarwood producing tree in Sri Lanka' යන මැයෙන් රචනා කරන ලද පර්යේෂණාත්මක ලිපිය ඉන්දියාවේ සාංචි (අගාර්) වගාකරුවන්ගේ සංගම් ජ'නලයේ පළ විය.

    "නීති විරෝධී ලෙස ගස් කැපීමේ නිරත පුද්ගලයන් හට ශාක පිළිබඳ නිසි දැනුමක් සහ අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් කිසිඳු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව ඕනෑම ප්‍රමාණයක ශාක කැපීමෙහි නිරත වනවා. මේ නිසා මෙම වර්ගයේ ශාකවලට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තරව අගාවුඩ් සඳහා ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති තත්ත්වයක් තුළ ක්ෂේත්‍රයේ සූරා කෑම ද ඊට සමගාමීව වර්ධනය වී තිබෙනවා. අනවසර ගස් කැපීම හේතුවෙන් මවු ශාකවල වර්ධනය අදාළ වී ඇති අතර, ප්‍රතිනිෂ්පාදන හැකියාව ද අඩපණ වී තිබෙනවා" ඔහු සිය ලිපියෙහි සඳහන් කරයි.

    ශාක තුළ නිපදවෙන අගාවුඩ් ප්‍රමාණය ඉතා සීමිත වීම සහ කම්කරුවන් මත පදනම් වූ නිස්සාරණ ක්‍රියාවලිය හේතුවෙන් අගාවුඩ් තෙල් සඳහා අධික මිලක් පවතී. වර්ග කළ කැබලි, තෙල් මෙන් ම සුවඳ විලවුන්, ඖෂධ සහ ආභරණ ආදී විවිධ නිමි නිෂ්පාදන සඳහා මැද පෙරදිග, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ආදී වෙළඳපල තුළ වේගයෙන් වර්ධනයවන ඉල්ලුම හේතුවෙන් අගාවුඩ් ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පත්ව ඇත.
    තර්ජනයට ලක් වූ ජීවි විශේෂයන්ට අදාළ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) මගින් අගාවුඩ් ලැයිස්තුගත කරනු ලැබ ඇති අතර එම ජීවි විශේෂවල පැවැත්ම තහවුරු කිරීමේ බලපත්‍රයක් නොමැතිව ජාත්‍යන්තර වශයෙන් අලෙවි කිරීම තහනම් වේ.

    ශ්‍රී ලංකාවේ අගාවුඩ් වගා කිරීමේ පුරෝගාමියාවන සදාහාරිත වැවිලි සමාගම, සිය සේවා ලාභීන් හට අවශ්‍ය විශේෂඥ දැනුම සහ අගය එකතු කරන ලද වාණිජ වන වගා ආයෝජන අවස්ථා පිරිනමමින් මෙරට පාරිසරික සුරක්ෂිතතාව සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙයි.

    සේයා රූ සටහන : සදාහාරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා (මැද) සිය කණ්ඩායම සමග. (වමේ සිට දකුණට) ප්‍රාදේශීය කළමනාකාර මේනක ධර්මප්‍රිය, ප්‍රාදේශීය කළමනාකාර රුක්මන් රත්නායක, විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ, වන වගා උපදේශක ආචාර්ය උපුල් සුබසිංහ, පුහුණු සහ සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිරෝෂන් මානවඩු සහ ප්‍රාදේශීය කළමනාකාර නිහාල් තිසේරා යන මහත්වරු ද අසුන් ගෙන සිටිති.