සදාහරිත සමාගම 2016 ස්වර්ණදීප සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

    January, 10, 2017

    වාණිජ වන වගා ක්ෂේත‍්‍රයේ මෙරට විශ්වසනීය පුරෝගාමියාවන සදාහරිත සමාගම, පසුගියදා පැවති ස්වර්ණදීප සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    නිදහස් ලංකා මාධ්‍ය සන්නිවේදකයින්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර ”පරිසරය අපගේ ජීවයයි” යන තේමාව ඔස්සේ පැවැත්විණි.

    මෙරට ජනතාව සඳහා තිරසාර ජීවනෝපාය මාර්ගයක් හඳුන්වා දෙන අතරතුර අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම සඳහා සදාහරිත සමාගම දැක්වූ දායකත්වය මෙම සම්මානය හරහා ඇගයුමට ලක් විය. සම්මාන තේරීම් ක‍්‍රමවේදය පිළිබඳ මෙහිදී අදහස් පළ කළ නිදහස් ලංකා මාධ්‍ය සන්නිවේදකයින්ගේ සංවිධානයේ සභාපති සුනිල් ආර්. විජේකෝන් මහතා සඳහන් කළේ අගාවුඞ් ශාකය ඇතුළු වාණිජ වන වගාව මෙරටට හඳුන්වා දීම හරහා සදාහරිත සමාගම මෙරට වන ව්‍යාප්තියට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති බවය.

    ”නිදහස් ලංකා ජනමාධ්‍ය සන්නිවේදකයින්ගේ සංගමය වැනි ස්වාධින සංවිධානයකින් මෙවැනි කීර්තිමත් සම්මානයක් හිමි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. ශී‍්‍ර ලාංකේය සමාජ-ආර්ථික ස්ථාවරත්වයට සහ මෙරට වන වගාවේ උන්නතියට අප දක්වන සෘජු දායකත්වය මෙම සම්මානය තුළින් ඇගයුමට ලක් වූ බව අපගේ විශ්වාසයයි” සදාහරිත සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා සඳහන් කළේය.

    මෙරට යහ පැවැත්ම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන පුද්ගලයන් සහ සමාගම් දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරිව ස්වර්ණදීප සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරේ.