සනීපාරක්ෂක තුවා බදු වැඩි කළේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    November, 25, 2020

    මේ වන විට සමාජ කතිකාවතක් නිර්මාණය කර ඇති සනීපාරක්ෂක තුවා සඳහා සෙස් බදු පැනවීමේ පුවත සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් එලෙස කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැති බව පැවසීය. ඊයේ (24) දෙරණ වාද පිටිය දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සනීපාරක්ෂක තුවා සඳහා පැවති සියයට 30 ක රේගු ආනයන බද්ද සියයට 15 දක්වා අඩු කොට ඊට සියයට 15ක සෙස් බද්දක් එකතු කර ඇති බවයි. මේ අනුව නව බදු පැනවීමක් හෝ බදු වැඩි කිරීමක් කිසිදු ආකාරයකින් සිදු වී නැති බව ඔබ වැඩිදුරටත් තහවුරු කර සිටියේය.