සම්පත් බැංකුව බිබිල කින්දගල්ල වැවට යළි ජීවය දෙමින් ගොවි ජනතාවට දුන් පොරොන්දු ඉටු කරයි

    March, 26, 2021

    ලක්දිව අතීත ශ්‍රී විභූතිය යළි යළිත් විරාජමාන කරන සම්පත් බැංකුවේ තවත් අභිමානවත් සමාජ සත්කාරක වැඩසටහනක් වන වැවට ජීවයක්ජාතික ව්‍යාපෘතිය යටතේ යළි ජීවය ලැබූ බිබිල කින්දගල්ල වැව පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබීය. හෙල රජ දවස මෙරට පෙරදිග ධාන්‍යාගාරයක් කරන්නට දිරි දුන් මහා වාරි කර්මාන්තය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වෙමින් තිබෙන යුගයක දැයේ හෙට දවස වෙනුවෙන් එම වැව් වලට යළි ජීවය ලබා දෙන සම්පත් බැංකුව මේ සත්කාරය තුළින් රටට බත සපයන බිබිල - කොකුන්නෑව ගොවි ජනතාවට ශක්තියක් වන්නට සමත් විය.

    වීරත්වයෙන් හෙබි ප්‍රෞඩ වූ ඉතිහාසයකට හිමිකම් කියන ඌව වෙල්ලස්ස එදා මෙන්ම අදද ගොවි ජනතාවගේ දහදියෙන් සරු වූ පින් බිමකි. දැයට බත සපයමින් නිරෝගී පරපුරක් වෙනුවෙන් නිහඬ මෙහෙවරක යෙදෙන ඔවුන් රටට සමාජයට බරක් නොවී  ජීවත් වන්නේ වැව් දියෙන් ලැබෙන ජලයෙන් සිය කෙත් වතු සාරවත් කරමිනි.

    එහෙත් බිබිල කොකුන්නෑව ගමෙහි ගොවි ජනතාවට වසර ගණනක් පුරා හරි හැටි සරු අස්වැන්නක් රටට ජාතියට ලබා දෙන්නට නොහැකි වූයේ තමන්ගේ කෙතට දියවර සපයන කින්දගල්ල වැව අභාවයට යමින් පැවති හෙයිනි. රටට ජාතියට බත සපයමින් මෙතෙක් දිරියෙන් ඉදිරියට ගිය ගොවි ජනතාවට  සිදු වූයේ කින්දගල්ල වැව දෙස බලා සුසුම් හෙලන්නට පමණි. වැසි දිය ඇද හැලෙද්දී ඒ දිය පුරවා ගන්නට තරම්වත් සවියක් නොමැති කින්දගල්ල වැව තව තවත් අභාවයට යද්දී ගොවි ජනතාවගේ පමණක් නොව ඔවුන්ගේ දූ දරුවන්ගේ අනාගතයත් දියුණුව කරා ගෙන යන්නට සම්පත් බැංකුව ඉදිරිපත් වූයේ සිය වැවට ජීවයක්සමාජ සත්කාරක වැඩසටහන යටතේ කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරමිනි.

    2020 අගෝස්තු මස 20 වෙනි දිනයි. සම්පත් බැංකුව බිබිල කින්දගල්ල වැවෙහි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ එදිනය. වැව් දියට අධිපති දෙව් දේවතාවුන් වෙනුවෙන් පුද සත්කාර සිදු කරමින්" සතර වරම් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් සෙත් පිරිත් හඬ මධ්‍යයේ කින්දගල්ල වැවට යළි ජීවය ලබා දීමේ අවස්ථාව ආරම්භ විය. රට තුළ පැවති අවාසනාවන්ත වසංගත තත්වය මධ්‍යයේ වුවද මාස කිහිපයක් ගත වන විට ගොවි ජනතාව වෙනුවෙන් පරිපූර්ණ වැවක උරුමය ලබා දෙන්නට සම්පත් බැංකුවට හැකි විය.

    පසුගිය මාර්තු 10 වන දින කොකුන්නෑව ගමට සෞභාග්‍යය රැගෙන ආ මෙම උත්කර්ෂවත් අවස්ථාව වෙනුවෙන් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා ඇතුළු සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීන්ද" රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මොණරාගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමා" බිබිල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු එම ආයතනයන්හි නිලධාරීන්ද" ගම්වාසීන්ද එක්ව සිටියහ.

    වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භයේදී දෙවියන් වෙනුවෙන් වූ භාර හාර ඔප්පු කරමින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත් ගොවි ජනතාව මෙතැන් සිට තමන්ගේ කෙත් වතු සරු කරන වැව් දියට පුද සත්කාර සිදු කරනු ලැබුවේ හද පිරි බැතියෙනි. සෙත් පිරිත් හඬ මධ්‍යයේ යළි ජීවය ලැබූ කින්දගල්ල වැවෙහි දියවර කෙත්වතු වෙත මුදා හැරියේ ගොවි ජනතාවගේ නෙත් වලට සතුටු කඳුලු එක් කරමිනි.

    මෙම අවස්ථාවට එක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ‘’ජාතික බැංකුවක වගකීම ඉටු කරමින් ජාතික ආර්ථිකයේ ප්‍රගමනයට සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සම්පත් බැංකුව දශක 03කට වැඩි කාලයක් තිස්සේ බැංකු ක්ෂේත්‍රය තුළ සුවිසල් කාර්යභාරයක් ඉටු කරනවා. සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැවට ජීවයක්ව්‍යාපෘතියේ තවත් අදියරක් සම්පූර්ණ කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද බිබිල කින්දගල්ල වැව අද දින ජනතා අයිතියට පත් කරනවා. 2001 වර්ෂයේදී ලූණුගම්වෙහෙර පිහිටි උඩමත්තල වැව ප්‍රතිසංස්කරණයෙන් ආරම්භ කළ මේ සුවිසල් මෙහෙවර හරහා අද වනවිට වැව් නවයක් ප්‍රතිසංස්කරණය කරමින් වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අපේ දේශීය ගොවි ජනතාවට සවියක් වීමට අපට හැකි වී තිබෙනවා. බිබිල කින්දගල්ල ගම්වාසී සියලු දෙනාටම මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැපවීම පිළිබඳව මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. ඒ වගේම මෙම ව්‍යාපෘතියට තාක්ෂණික දායකත්වය ලබාදුන් මොණරාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමා" ඉංජිනේරුවරු හා තාක්ෂණික නිලධාරීන් ඇතුළුව මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අපට ශක්තියක් වූ සියලූම පාර්ශවයන්ටත් සම්පත් බැංකුව වෙනුවෙන් මා කෘතඥපූර්වක වනවායනුවෙනි.

    කුඹුරු අක්කර 200කට අධික ප්‍රමාණයක් පෝෂණය කරන බිබිල කින්දගල්ල වැව හරහා ගොවි පවුල් 250කට අධික සංඛ්‍යාවකට බත සපයන්නේ ඔවුන්ට සරුසාර හෙට දවසක් උරුම කර දෙමිනි. එපමණක් නොව වැවයි - දාගැබයි ගමයි පන්සලයි යන්න යථාර්තයක් බවට පත් කරමින් සුන්දරත්වයෙන් අනූන ගමත්" ගමට මඟ කියන පන්සලත් එක් කරන කින්දගල්ල වැව අනාගත දරු පරපුරට ද යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමෙහිලා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරනු ඇත.

    2001 වසරේදී ආරම්භ කරනු ලැබූ සම්පත් බැංකුවේ වැවට ජීවයක්සමාජ සත්කාරක වැඩසටහන තුළින් මේ වන විට ජීවය ලබා ඇති වැව් ගණන 9කි. විශේෂයෙන් රජය මඟින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති වාරි සෞභාග්‍යාසංවර්ධන ව්‍යාපෘතියට ද මේ තුළින් ලැබෙන දායකත්වයද අති මහත්ය. සම්පත් බැංකුවේ වැවට ජීවයක්වැඩසටහන යටතේ බිබිල කින්දගල්ල වැවට අමතරව ලුණුගම්වෙහෙර උඩමත්තල වැව (2001)" තණමල්විල ඉලුක්පැලැස්ස වැව (2002)" හම්බන්තොට කොන්කැටිආර වැව (2002)" පඬුවස්නුවර දෙමටව වැව (2014)" නොච්චියාගම හල්මිල්ලකුලම වැව (2017)" කහටගස්දිගිලිය අඹගහවැව (2018) මෙන්ම දිවුලන්කඩවල ධාන්‍යාව වැව (2018),  නොච්චියාගම නැලවගම වැව (2020), සම්පත් බැංකුව විසින්  ප්‍රතිසංස්කරණය කොට ඇත.

    මෙම වැවට ජීවයක්ව්‍යාපෘතියට සමගාමීව සම්පත් බැංකුව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් පිහිටි ප්‍රදේශයන්හි තෝරාගත් පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් සහභාගී කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද පලතුරු පැළ ව්‍යාපෘතියේ පළමු අදියර දියත් කිරීම නාගල ශ්‍රී පියරතන විද්‍යාලයේදී සිදු කෙරිණ. එහිදී සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා අතින් එම විද්‍යාලයේ 2වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පළතුරු පැළ ප්‍රදානය කරන ලදී. දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන්ගේ පරිසරයට ඇති ලැදියාව හා කෘෂිකාර්මික හුරුව ඔප් නැංවීමත් පාසල් සංවර්ධනය උදෙසා ඵලදායී අතිරේක ආදායම් මාර්ගයක් බිහි කිරීමත් වේ.