සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් සුවිසල් ඉදිරි පියවරක් තබයි

    August, 3, 2023

    දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි

    අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අදාල ගොවි සංවිධානයන් සමඟ ගිවිසුම්වලට එළඹෙමිනි. බැංකු ඉතිහාසය තුළ දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවැවට ජීවයක්සමාජ සත්කාරක වැඩසටහන තුළින් මේ ආකාරයේ වාරි පද්ධතීන් තුනක් එකම දිනයකදී ප්‍රතිසංස්කරණයට ලක් කිරීම සඳහා කටයුතු කරනුයේ ප්‍රථම වරට වීමද විශේෂත්වයකි. සමාජ සත්කාරක වැඩසටහන් හරහා ශ්‍රී ලාංකේය ජනතාවට වඩා වැඩි සේවාවක් ලබා දීම සඳහා වන සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියගේ දිරිගැන්වීමද මෙම සුවිසල් ඉදිරි පියවරෙහි වැදගත් සාධකයක් විය.

    සම්පත් බැංකුව විසින් අභාවයට යමින් පවතින වැව් හඳුනාගනිමින් ඒවායේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා අනුව අදාළ සියලු ආයෝජනයන් සිදු කරන අතර එම වැව් ප්‍රතිසංස්කරණයේ තාක්ෂණික දායකත්වය ලබා දෙනුයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවයි. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ලෙස කටයුතු කරන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවවැවට ජීවයක්වැඩසටහන සමඟ එක් කර ගැනීමෙන් වගකීමෙන් යුතු ව්‍යාපෘතියක් වෙනුවෙන් වන සම්පත් බැංකුවේ කැපවීමද මනාව ප්‍රකට වේ.

    ඒ අනුව පසුගියදා සම්පත් බැංකුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අදාල ගොවි සමිති සමඟ මෙම ගිවිසුම්වලට එළඹෙන ලදී. ඒ සඳහා සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීන් එක්ව සිටි අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට නියමිත වැව් භාරව කටයුතු කරන ගොවි සමිති නිළධාරීන් එක්ව සිටියහ.

    එම ගිවිසුම යටතේ දැනට අභාවයට යමින් පවතින මහකූඹුක්කඩවල - කොහොඹගස් වැව, නිකවැරටියකුඹුරුපිටිය වැව හා මැදවච්චිය - ලේනදිවුල්වැව යන වැව් ත්‍රිත්වය සම්පත් බැංකුවේ දායකත්වයෙන් යළි ජීවය ලැබීමට නියමිතය.

    ඒ අනුව ගොවි පවුල් 76කගේ කුඹුරු අක්කර 64කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් දියවර සපයමින් ප්‍රදේශයේ පවුල් 150කට වැඩි පිරිසකගේ ජල අවශ්‍යතා සපුරා ලන පුත්තලම් දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල කොහොඹගස්වැව මහ වැවෙහි පෝෂිත ඇල මාර්ගය, පිටවාන, වැව් බැම්ම හා ගොවි බිම් වෙත ජලය ගෙන යන වාරි ඇල ප්‍රතිසංස්කරණය කිරීම සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන තුළින් සිදු වනු ඇත. මහසෙන් රජුගේ නිර්මාණයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පින්නපොලේගම කුඹුරුපිටිය වැව කුඹුරු අක්කර 105කට පමණ දියවර සපයන්නේ ගොවි පවුල් 175කට වැඩි පිරිසකට සරණක් වෙමිනි. අවුරුදු 80ක් පමණ පැරණි එහි සොරොව්ව අබලන් තත්වයක පවතින්නේ ජල කාන්දුවක්ද සමඟිනි. සම්පත් බැංකුව එම සොරොව්ව සහ කුඹුරුයාය වෙත ජලය ගෙන යන ඇල වේලි පද්ධතියද ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීමද මේ ගිවිසුම්ගත වීම තුළින් භාර ගන්නා ලදී. මැදවච්චිය ලේනදිවුල්වැව ගොවි පවුල් 55කගේ පමණ ජීවනෝපායන් ආරක්ෂා කරනුයේ කුඹුරු අක්කර 45ක් පෝෂණය කරමිනි. කඳුකර බිමක සිට ඊට ජලය ගලා එන ඇල මාර්ගය මීට අවුරුදු 5කට පෙර පිළිසකර කළද ඉන් නිසි විසඳුම් නොලැබිණ. ගලා එන ජලය අපතේ යමින් වැවට එකතුවන ජල ප්‍රමාණය අවම වීම හේතුවෙන් එම ඇල මාර්ගය නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට අවැසි ජලය වැවෙහි ගබඩා කර තබන්නට අවශ්‍ය දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියශ්‍රී ලාංකික ජනතාවගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන බැංකුවක් ලෙස සම්පත් බැංකුවවැවට ජීවයක්සමාජ සත්කාරක වැඩසටහන තුළින් ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය නංවාලීමට කටයුතු කරනවා. වැවකට ජීවය ලබා දීම, කෘෂිකර්මාන්තය වගේම ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා සුවිසල් පිටිවහලක් වන බව අපගේ විශ්වාසයයි. ඒ නිසාම අභාවයට යමින් පවතින වාරි පද්ධතීන් වැඩි වැඩියෙන් ප්‍රතිසංස්කරණය කරමින් ඒවා ගොවි ජනතාවට ලබා දීමට අපි අපේක්ෂා කරනවා. එහි තවත් සුවිසල් පියවරක් ලෙස දිස්ත්‍රික්ක 3ක වාරි ව්‍යාපෘති 3ක් එකම දිනක ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහන් කළ හැකියි. මෙය බැංකුවක් ලෙස අපට අභියෝගයක් වුවත් ඒ අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් අප සතුයි. ඒ වගේම ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන දායකත්වය පිළිබඳවද මේ මොහොතේ මගේ ස්තුතිය පුදකර සිටිනවායනවෙන් පවසා සිටින ලදී.

    සම්පත් බැංකුවේවැවට ජීවයක්සමාජ සත්කාරක වැඩසටහනට දායකත්වය දැක්වීම සම්බන්ධයේ අදහස් දැක්වූ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කර සිටියේඅභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කරමින් කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය දැක්වීමට කටයුතු කිරීම පිළිබඳව සම්පත් බැංකුවට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා. කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ආයතනයක් ලෙස සම්පත් බැංකුවේ මෙම සුවිශේෂී කර්තව්‍ය වෙනුවෙන් අපගේ උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර සෑම විටම ඊට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දීමට කැපවී කටයුතු කරනවා. ඒ සඳහා අප වෙත අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සම්පත් බැංකුවට මගේ ස්තුතිය පුද කරන අතර තව දුරටත් මේ ආකාරයේ වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය කරමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ උන්නතියට වැඩි වැඩියෙන් දායක වීමේ ශක්තිය සම්පත් බැංකුවට ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවායනුවෙනි.

    වැවට ජීවයක්සමාජ සත්කාරක වැඩසටහන සම්පත් බැංකුවේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන අතර ඒ තුළින් මේ වන විට ජීවය ලබා ගොවි ජනතාව වෙත භාර දී ඇති වැව් ප්‍රමාණය 16කි. 2022 වසරේ SLIM වෙළෙඳනාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආයතනික සමාජ වගකීම් සඳහා වන රන් සම්මානයෙන් මෙන්ම 2023 වසරේ Asiamoney Best සම්මානයෙන්ද පිදුම් ලැබීමට සම්පත් බැංකුවට හැකි වූයේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම සමාජ සත්කාරක වැඩසටහන හේතුවෙන් සම්පත් බැංකුව 2023 වසරේ හි වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීම්හිවඩාත් ආදරය කරන බැංකු සන්නාමයලෙසද ගෞරවයට පාත්‍ර විය.

    නව්‍ය තාක්ෂණයෙන්, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවෙන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් නොව මිනිසත්කමෙන්ද පොහොසත් සම්පත් බැංකුව ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ නිරන්තරයෙන් මිනිසත් කමෙන් පොහොසත් අසමසම බැංකු සේවාවක් සියලු දෙනා වෙත ගෙන එමිනි.

    ඡායාරූප හා විස්තරය - සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ ගොවි සමිති නිලධාරියකු විසින් වැව් ප්‍රතිසංස්කරණය සඳහා වන ගිවිසුම් අත්සන් කරන අයුරු.  සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ ගොවි සමිති නියෝජිතයකුද පසෙකින් වේ