සම්පත් බැංකුව QR ගෙවීම් දිරි ගැන්වීම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්වෙයි

    February, 18, 2021

    සම්පත් බැංකුව 2020 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්ෂණික ප්‍රතිචාර (QR) කේත ප්‍රමිතිය වන LANKAQR පිළිබඳ අවබෝධය සහ භාවිතය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්වැල් බැඳගන්නා ලදී.

    ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා LANKAQR භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරි ගන්වමින් සම්පත් බැංකුව විසින් කොළඹ ගාලු මුව දොර පිටිය අසල , බාල දක්ෂ මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද Dining Capsule පරිශ්‍රයේදී 2021 ජනවාරි 23 සහ 24 දෙදින තුළ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මෙහෙයුම් සහ සමූහ ප්‍රධාන අලෙවි නිළධාරී තාරක රන්වල යන මහත්වරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ද මෙම ප්‍රවර්ධන වැඩසටහන සංකේතාත්මක දියත් කිරීමට එක්ව සිටියහ.

    LANKAQR හි සේවාව ලබා ගත හැකි සම්පත් බැංකුවේ WePay ඩිජිටල් ගෙවීම් ජංගම යෙදුම හරහා Dunhinda Colombo, Roots, Grand Monarch, Street Wok, Lavinia, Spice Junction, Giovanni’s Pizza al Taglio සහ BoxBaroutlets යන අවන්හල් වෙතින් මෙම කාල සීමාව තුළ මිලදී ගත් ආහාර සඳහා ගෙවන මුදලෙන් 25%ක මුදලක් ආපසු ලබා දීමට (cash back) සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය.

    සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ  තාක්ෂණය වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දෙමින්  අපගේ එදිනෙදා ගනුදෙනු සිදු කරන ආකාරය නිරන්තරයෙන් වෙනස් කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළද පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් ඩිජිටල් ගනුදෙනු වෙත යොමු  වෙමින් තිබීම වර්තමානය වන විට සත්‍ය වශයෙන්ම ඉහළ යමින් පවතිනවා.යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ නන්ද ප්‍රනාන්දු මහතා සම්පත් බැංකුව ලෙස අපි සෑම විටම නැගී එන තාක්ෂණයන් වැඩි දියුණු කිරීම සහ දිවයින පුරා විහිදී සිටින අපගේ ගනුදෙනුකරුවන්ට වටිනාකමක් එක් කරමින් වෙළෙඳපොලට අදාළ විසඳුම් ලබා දීම වෙනුවෙන් අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව වඩා ප්‍රයෝජනවත් මෙන්ම පිළිගත් ගෙවුම් ක්‍රමයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR සමඟ එක් වන්නට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වනවායනුවෙන්ද පවසා සිටින ලදී.

    මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ මෙහෙයුම් ප්‍රධානී සහ සමූහ ප්‍රධාන අලෙවි නිළධාරී තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව පුරා LANKAQR  සමඟ එක්වන පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර QR පදනම් කරගත් ගෙවීම් තුළින් ලබා දෙන ඉහළ වටිනාකමද අගය කිරීමට ලක්ව ඇත. සම්පත් බැංකුවෙහි සුරක්ෂිත, ඩිජිටල් මුදල් පසුම්බිය වන සම්පත් WePay සේවාව තූළින් සම්පත් බැංකුවේ මෙන්ම වෙනත් ඕනෑම බැංකුවක ගිණුමක් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවකුට ඉතා පුළුල් ආකාරයේ ඩිජිටල් ගනුදෙනු සිදු කළ හැකියි. සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට වගේම අනෙකුත් සියලු බැංකුවල ගනුදෙනුකරුවන්ටත් සම්පත් WePay වැනි LANKAQR හි බලයලත් ගෙවුම් විසඳුමක් විසින් ලබා දෙන පහසුව හා ආරක්ෂාව සළසා ගන්නා අතරම අනාගතය සමඟ එක්වන ලෙස මේ මොහොතේ ආරාධනා කර සිටිනවා.යනුවෙනි.

    එමෙන්ම සම්පත් බැංකුව ජනවාරි 23 වනදා කොළඹ දියත උයනේදී පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR කොළඹ ව්‍යාපාරයෙහිද කොටස්කරුවකු වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ රට පුරාම LANKAQR සමාරම්භය සඳහාද එක් විය. මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි හා ජාතික ගෙවුම් කවුන්සලයේ සභාපතිනි වයිවට් ප්‍රනාන්දු මහත්මිය හා ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා ගෞරවණීය ආරාධිත අමුත්තන් ලෙසද ඊට එක් වූහ. එසේම එම ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ද  ඊට එක්ව සිටියහ.

    බලපතලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලත්‍රලාභී මූල්‍ය ආයතන, ටෙලිකොම් හා ෆින්ටෙක් ක්‍රියාකරුවන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් භාවිතයෙන් තොර සමාජයක් කරා යන ගමනට ශක්තියක් වෙමින් මෙම QR  පදනම් කරගත් කේත ප්‍රමිතීන් අනුගමනය කිරීමට ව්‍යාපාරිකයන් උනන්දු කරනු ලබයි.

    සම්පත් බැංකුව විසින් ඔවුනගේ හවුල්කාර ව්‍යාපාරයන් මෙම මුදල් රහිත ගෙවීම් පද්ධතිය පභාවිතය වෙනුවෙන් නිරන්තරයෙන් දැනුවත් කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව සමග ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ දිනයෙහි සම්පත් බැංකුව කොළඹ ඇතුළු සිය ශාඛා රැසක් විවෘතව තබමින් LANKAQRහි අත්දැකීම විඳ ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන්ට ආරාධනා කරන ලදී.

    සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්කකරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් වසර 33ක් වැනි කෙටි කාලයක් තුළ වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.