සමාගම් දෙකක කොටස් මිල නොසිතූ ලෙස ඉහළ යාමේ ඇත්ත කතාව

    January, 12, 2022

    රිචඩ් පීරිස් සමූහයේ සමාගම් දෙකක් වන රිචඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සහ නමුණුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් හි සීඝ්‍ර වර්ධනයක් අද (12) දින දැකගත හැකිවිය.

    එහිදී අද දිනයේ දී රිචඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී හි කොටසක මිල රු. 392.50 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ රු. 1,241.75 ක් ලෙසිනි. එය පෙර දිනයට සාපේක්ෂව 46.22% ක වර්ධනයක් වේ.

    මේ අතර නමුණුකුල වැවිලි සමාගමේ කොටසක මිල අද දිනය අවසානයේ දී රු. 990.25 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනය හා සැසඳීමේ දී රු. 110.00 ක් හෙවත් 12.50% ක ඉහළ යාමකි.

    මෙලෙස මෙම සමාගම් දෙකෙහි කොටස් මිල ඉහළ යාමට හේතු වූ එම සමූහයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයක් යැයි පැවසෙන පුවතක් මේ වන විට සංසරණය වෙමින් පවතී.

    එනම් පසුගිය ජනවාරි 11 වැනිදා පැවති නමුණුකුල වැවිලි සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී අදාළ සමාගම් හි කොටස්වල අනුබෙදුමක් (Share Subdivision) සිදුකෙරෙන බවට සමාගම් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා සඳහන් කළ බවකි.

    කෙසේවෙතත් නමුණුකුල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රින්ස් ගුණසේකර කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ එවැනි ප්‍රකාශයක් සභාපතිවරයා සිදුනොකළ බවයි.

    නමුත් සභාවාරය අවසානයේ දී කොටස්කරුවන් හා සභාපතිවරයා අතර පැවති සුහද සාකච්ඡාවේ දී එක් කොටස්කරුවෙකු කොටස් අනුබෙදුමක් සිදුකිරීමක් ගැන යෝජනා කළ බවත්, සභාපතිවරයා එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යෝජනාවක් ලෙස ගෙන යායුත්තක් බවට සඳහන් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.