සමාගම් 184 ක් ඇති හේලීස් සමූහය 2017/18 මූල්‍ය වර්ෂයේ දී පසුකළ මංසළකුණු මෙන්න

    June, 7, 2018

    ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සිය 2017/18 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මේ වන විට එළිදක්වා තිබේ. එම වාර්තාවට අනුව 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී වැදගත් සංධිස්ථාන කිහිපයක් පසුකිරීමට හේලීස් සමත් වී තිබේ.

    2017 මැයි මාසයේ දී එක් කොටසක් වෙනුවෙන් රු. 7.50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කිරීම, ජූනි මාසයේ දී සිලෝන් ටී 150 වන සැමරුම වෙනුවෙන් අන්තර්ජාල තේ වේදිකාවක් දියත් කිරීම ඒ අතර වේ.

    මේ අතර ව්‍යාපාර අත්පත් කරගැනීම් සම්බන්ධයෙන්ද 2017/18 මූල්‍ය වර්ෂය හේලීස් සමූහයට අතිශයින් වැදගත් වේ. එහිදී 2017 සැප්තැම්බර් මාසයේ දී මෙරට ප්‍රමුඛතම සමාගමක් වූ සිංගර් (ශ්‍රී ලංකා) පාලක කොටස් අයිතිය මිල දී ගැනීම හා එම වසරේ ම අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා ෂිපිං කම්පැනි ලිමිටඩ් හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් විසින් කටයුතු කර තිබීම කැපී පෙනේ.

    2017 දෙසැම්බර් මාසයේ දී LMD සඟරාව විසින් ශ්‍රී ලංකාවේ අංක 1 ලැයිස්තුගත සමාගම ලෙසින් හේලීස් නම් කරනු ලැබීය. එසේම 2018 මාර්තු මස අවසානයේ දී 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක වාර්ෂික පිරිවැටුමක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු ලැයිස්තුගත සමාගම බවට හේලීස් පත්විය.

    2017/18 මූල්‍ය වර්ෂය අවසාන වන විට හේලීස් සමූහය සතු සමාගම් සංඛ්‍යාව 184 ක් ලෙසින් සටහන් වන අතර ඒ අතරින් සමාගම් 16 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඒවා වේ.