• Ada Derana BIZ Sinhala
  • CAR
  • Lanka Rating Agency
  • SDF
  • sri lanka

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ ස්ථාවර වර්ධනය Lanka Rating Agency හි ශ්‍රේණිගත වේ

October, 12, 2022

Lanka Rating Agency විසින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (SDF) සමාගම වෙත මූලික ශ්‍රේණිගත කිරීම පිරිනමා තිබේ. පසුගිය වසර 5 ක කාලය තුළ එම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම අත්කරගත් ස්ථාවර වර්ධනය මෙන්ම, සර්වෝදය ව්‍යාපාරය හරහා ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය මූල්‍යමය අත්වැල පිරිනැමීමට සමාගම සමත් වී ඇති ආකාරය මෙම ශ්‍රේණි ගත කිරීම මගින් මනාව පැහැදිලි වේ. සර්වෝදය ව්‍යාපාරය සතු කීර්තිනාමය සහ  සමාගමේ විශ්වාසනීයත්වය මේ හරහා වඩාත් ඉහළ යනු ඇත.

SDF සමාගම 2021 දෙසැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ අතර ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය (CAR) සහ මූලික ප්‍රාග්ධනය සම්බන්ධ ව්‍යවස්ථාපිත අවශ්‍යතා සපුරා ඇත. සමාගම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ග්‍රාමීය ආර්ථිකය සමග විශේෂයෙන් ගනුදෙනු කරන අතරම, තම ගනුදෙනුකරුවන් විශාල පිරිසකට බලපා ඇති ආර්ථික අර්බුදය හා ඒ සම්බන්ධ තත්ත්වයන් කළමනාකරණය කිරීමට ද සමාගමට සිදුවී තිබේ. 2021 මූල්‍ය වර්ෂයේ සිටම තම දළ අක්‍රීය ණය අනුපාතය ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමක රඳවා ගැනීමට සමාගම සමත් වී ඇත. කෙසේ වුවද පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ, 2022 මූල්‍ය වර්ෂයේ පැවති 8.9% ක ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 2023 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව වන විට 10.8% දක්වා ඉහළ ගොස් තිබේ.

SDF හි 2022 මූල්‍ය වර්ෂයේ පොලී ආදායම රු. බිලියන 1.8 ක් සහ බදු-පසු ලාභය රු. මිලියන 215 ක් වන අතර මෙය පිළිවෙළින් 15% ක සහ 18% ක වර්ධනයකි. කල්බදු ක්ෂේත්‍රය තුළ සමාගම සතු වෙළඳපොළ කොටස 0.9% ක් වන අතර එය මෙම ශ්‍රේණිගත කිරීම මගින් පිළිබිඹු වේ. මෑතකදී සමාගම සිය ලීසිං සේවාවන් පුළුල් කිරීම හේතුවෙන් ණය දීම් ප්‍රමාණය 150% කට වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති අතර, එම නිසා අවදානම් මට්ටම ඉහළ ගොස් තිබේ. ඉදිරියේදී, අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ සමාගමේ සේවා එකතුව තුළ සාර්ථක ලෙස ණය අවදානම් කළමනාකරණය සිදුකිරීම සහ අරමුදල් හා ණය අතර අනුපාතය අඩුකර ගැනීම, ඉදිරි ශ්‍රේණිගත කිරීම් සඳහා වැදගත් වනු ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම්, රට තුළ ඇති වෙනස්වනසුලු සාර්ව ආර්ථික තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් තම ස්ථානය රඳවා ගැනීමට සමාගම සතු හැකියාව මත රඳා පවතී. එමෙන්ම වත්කම් වල ගුණාත්මකභාවය පවත්වා ගනිමින් වත්කම් පදනම පුළුල් කරගැනීමේ හැකියාවද ඊට තීරණාත්මක ලෙස බලපානු ඇත.