September, 23, 2026
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාව ලබාදෙන ඕනෑම රාජ්‍ය මූල්‍ය සහායක් සඳහා නිසි පිරිවැය ඇස්තමේන්තුවක් සිදුකළ යුතු බවත්, එම සහාය යම් කාලසීමාවකට සීමා වූ සහ ඉලක්කගත එකක් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා අද (23) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
පසුගිය ඉරිදා (20) පැවති ජනරැළියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරි 2027 අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවත්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙමින් මිල වැඩිවීම පාලනයට පියවර ගන්නා බවත් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතාචාර දක්වමින් පැපජෝර්ජියෝ මහතා මේ බව පැවසීය.
මැදපෙරදිග යුද තත්ත්වය සහ ඒ හේතුවෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා ඉන්ධන මිල වත්මන් සාකච්ඡාවල පසුබිම ලෙස පවතින බව ඔහු සඳහන් කළේය. කෙසේවෙතත්, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඇතැම් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සිදුවන බැවින්, සාකච්ඡා කෙරෙන නිශ්චිත කරුණු හෝ සංඛ්‍යා පිළිබඳව මේ අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවසීය. පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් රජය විසින් රුපියල් බිලියන 100ක පමණ තාවකාලික සහන පැකේජයක් හඳුන්වා දුන් බව IMF දූත මණ්ඩල ප්‍රධානියා සිහිපත් කළ අතර එම සහන පැකේජය IMF වැඩසටහනේ පස්වැනි සහ හයවැනි ඒකාබද්ධ සමාලෝචන යටතේ සැලකිල්ලට ගත් බව ඔහු සඳහන් කළේය. එහිදී ඉලක්කගත සහ ඉලක්කගත නොවූ සහනාධාර සහ මුදල් ආධාර කිරීම් මෙන්ම පොහොර සහ විදුලි මිල ඉහළ දැමීම් ඇතුළු කරුණු සඳහාද සහන ලබාදී තිබූ බව ඔහු පැවසීය.
වත්මන් තත්ත්වය හමුවේ සමාන හෝ අඛණ්ඩ සහන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී එම අත්දැකීම වැදගත් පසුබිමක් සපයන බවද පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේය. එවැනි රාජ්‍ය මූල්‍ය සහායන් ලබාදීමේදී ඒවාට නිසි පිරිවැයක් ගණනය කළ යුතු බවත්, කාලසීමාවකට සීමා වූ සහ තාවකාලික ඒවා විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. හැකිතාක් දුරට එම සහාය අවශ්‍යතාව වැඩි පිරිස් වෙත, විශේෂයෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාව වෙත ඉලක්කගත විය යුතු බවද ඔහු පැවසීය. එවැනි සහන ලබාදීමේදී රාජ්‍ය මූල්‍ය ආරක්ෂිත සංචිත ආරක්ෂා කර ගැනීමද සමගාමීව සිදුකළ යුතු බව IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජූලි සහ අගෝස්තු මාසවලදීද සංචිත අඛණ්ඩව වර්ධනය වී ඇති බවයි.
සාකච්ඡා කර ඇති සංචිත ගොඩනැගීමේ ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කැපවී කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 10 වන දා ශ්‍රී ලංකාවට පැමිණි අතර අද (23) දින එම සංචාරය නිමා කරමින් පැවති මාධ්‍ය හමුවේ දී මෙලෙස අදහස් දැක්වීය.
Video Story