සහල්වලින් ස්ප්‍රීතු නිපදවීමට අවසර දී නැහැ

    December, 6, 2017

    මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිසිදු ස්කාගාරයකට සහල් යොදවා ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමට මේ රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

    එහෙත් 2006 වසරේ පැවැති රජය විසින් මධ්‍යසාර නිපදවීම සඳහා සහල් යෙදාගැනීමට අනුමැතිය දී තිබූ බව ද එම අමාත්‍යංශය මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේ සඳහන් වී තිබුණි.

    ''ශ්‍රී ලංකාවේ දැනට ස්කාගාර 14 ක් පවතින අතර ඒවායෙහි ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සඳහා රා, තල් රා, මොලාෂස්, බඩ ඉරිගු හා පළතුරු ආදිය උපයෝගී කරගනු ලබයි.''

    ''ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට එක් ආයතනයකට පමණක් එවකට බලයේ සිටි රජය විසින් 2006 වර්ෂයේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත් මෑතදී සහල් අමුද්‍රව්‍ය ලෙස යොදාගැනීමට අමතරව බඩ ඉරිගු යොදා ගැනීම සඳහා එම ආයතනයට අනුමැතිය ලබා දෙන ලදී.''

    ''2018 අයවැය මගින් එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වලට එහි සුරා බදු අනුපාතය අනුව බදු අය කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව 2017 නොවැම්බර් මස 09 වන දින සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන, දැනට අනුමත කර ඇති අමුද්‍රව්‍ය සඳහා ලීටරයකට රුපියල් 5 සිට රුපියල් 10 දක්වා බද්දක් නියම කර ඇත.''

    ''මේ හැරුණු විට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ ආකාරයට මද්‍යසාරවල යෙදවුමක් ලෙස සහල් භාවිත කිරීමට මෙම රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැති අතර ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සහල් යෙදවීමට අනුමැතිය ලබා දී ඇත්තේ 2006 වසරේ එවකට බලයේ සිටි රජය විසින් බව අවධාරණය කළ යුතුයි.''