ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් මාස 03කට යළි ඇරේ. ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ගෙවීමේ තීරණයක්

    January, 12, 2021

    සීමිත අරමුණක් සඳහා කොන්දේසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව, සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ  මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ පවත්නා ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා වන තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමික ව නැවත ආරම්භ කිරීමට තීරණය කළේ ය.

    ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ පැවති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018 ජනවාරි 02 දින ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලදී.