සාම්පූර් බලාගාරයේ දෙවන අදියරට ජපාන රජයේ පූර්ණ සහාය

    April, 28, 2016

    ප‍්‍රධාන ජාලයට මෙගාවොට් 500ක ධාරිතාවයක් සැපයීමට නියමිත සාම්පූර් බලාගාරයේ දෙවැනි අදියර ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තම රටේ පූර්ණ සහයෝගය ලබාදෙන බව, ජපන් රජයේ තානාපති කෙනචි සුගනුමා මහතා (H.E. Mr. Kenichi Suganuma) අවධාරණය කරයි.

    තානාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ එම අමාත්‍යාශ පරිශ‍්‍රයේ පැවති නිල සාකච්ඡාවකදීය.

    දෙරට අතර පැවති මෙම ද්වීපාර්ශවීය සාකච්ඡාවට ජපන් රජය වෙනුවෙන් එරට තානාපති (H.E. Mr. Kenichi Suganuma) කෙනචි සුගනුමා මහතා සහ ජපාන සංවර්ධන සහයෝගිතා අංශයේ ප‍්‍රධාන ලේකම් (Mr. Kiichirol Lwase) කිචිරෝල් ල්වේස් මහතා සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය.

    ලොව තාප බලාගාර සම්බන්ධව මේ වනවිට පවතින නවීනතම තාක්ෂණය, සාම්පූර් බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් යොදා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව මෙහිදි අවධාරණය කළ ජපාන තානාපතිවරයා, වඩාත් පරිසර හිතකාමී ව්‍යාපාතියක් ආකාරයෙන් සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමටද අපේක්ෂා කරන බව ද පැවසීය.

    සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයන වාර්තාව මේ වර්ෂය අවසන්වීමට ප්‍රථම ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ලබන වසරේදී ව්‍යාපෘති ඉදිකිරීම් ආරම්භක සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද මෙහිදී ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.