සෑම වතු කම්කරුවෙකුටම තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැටුප් ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටී

    November, 23, 2020

    සමස්තයක් වශයෙන් වතු කම්කරුවන්ගේ මෙන්ම තේ කර්මාන්තයේ ද අනාගත සුභ සිද්ධිය උදෙසා තිරසාර ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට සම්ප‍්‍රදායෙන් බැහැර වූ වැටුප් ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී.

    සම්පූර්ණයෙන් යථාර්තවාදී ආර්ථික දෘෂ්ටියෙන් බැහැරව හුදෙක් පටු දේශපාලන මතයන්හි එල්බගෙන සිටින යටත් විජිත යුගයේ සිට එන, පවතින සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය කඩිනමින් වෙනස් කළ යුතු බව අවධාරණය කරන වැවිලිකරුවන්ගේ සංගමය යෝජනා කරනු  ලබන්නේ වතු කම්කරුවන්ට ඔවුන්ගේ ඉපැයීම් පාලනය කළ හැකි ආකාරයේ ව්‍යවසායකත්වය පදනම් කර ගත් ආදායමක් උත්පාදනය කළ හැකි නව වැටුප් ආකෘතියක් ස්ථාපිත කරන ලෙසයි.

    පසුගිය වසර 28 පුරාවට ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) ශ්‍රී ලංකාවේ මුළු තේ නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 30%ක් සඳහා දායක වෙයි. නමුත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් පිළිබඳව තීරණය කිරීමේදී සාමූහික ගිවිසුම මගින් වතු සංගම් සම්පූර්ණයෙන් බැඳ දමා ඇත.

    කෙසේවෙතත්, 2021 ජනවාරි මාසයේදී ගනු ලබන නව එකඟතාවන් සමඟ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා සඳහන් කරන්නේ අර්ථාන්විත හා ඵලදායී ප‍්‍රතිසංස්කරණ සඳහා දැන් කාලය උදා වී ඇති බවයි. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සඳහා එවැනි වැටුප් ආකෘති හඳුන්වා දුන් වෙනත් රටවල් සාර්ථකත්වයට පත් වූ ආකාරයත් එමගින් කම්කරුවන් සවිබල ගැන්වී ඔවුන්ගේ ඉපැයීම් සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ වීඩියෝ සම්මන්ත‍්‍රණයක් ආකාරයෙන් පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ‘‘ඉදිරියට යා හැකි එකම ක‍්‍රමය වන්නේ මෙයයි. වතු කම්කරු පවුල්වල යහපත් අනාගතයක් ගැන උනන්දුවක් දක්වන සියලූම පාර්ශවකරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා සහාය දක්වන ලෙස. එමගින් ඔවුන්ට දෛනිකව රුපියල් දහසකට වඩා වැඩියෙන් මෙන්ම මසකට රුපියල් 55,000/-ත් රුපියල් 70,000/-ත් අතර උපයා ගැනීමට හැකි වේවි.

    ‘‘වෙළෙඳ පොළවල්, ගැනුම්කරුවන්, පාරිභෝගිකයින් සහ තාක්ෂණය ආදි වැවිලි කර්මාන්තයේ ඇති සෑම දෙයක්ම වෙනස් වී තිබෙන නමුත් වෙනස් වී නොමැති  එකම සාධකය වන්නේ මෙම වැටුප් ක‍්‍රමය පමණයි. මෙම යල්පැන ගිය ආකෘතිය වෙනුවට කම්කරුවන්ට ව්‍යවසායකයින් බවට පත් විය හැකි ඔවුන්ගේ ඉපැයීම් ඔවුන්ටම පාලනය හැකි ආකෘතියක් ගෙන ඒමට දැන් කාලය එළැඹ තිබෙනවා. එසේ නැත්නම්, ඔවුන්ට හෝ කර්මාන්තයට කිසිඳු ප‍්‍රතිලාභයක් නොමැති මේ වැටුප් ක‍්‍රමවේදය තුළ ඔවුන් සැමදා සිර වී සිටීවි’’ යනුවෙන් ඔහු පැවසුවේය.

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට අනුව ඵලදායිතාවය සම්බන්ධ වැටුප් ආකෘති ලොව පුරා කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා සාර්ථකව යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවටද ඉන් ඉහළ ඵලදායීතාවක් ඇති බව දැනටමත් ඔප්පු කර ඇත.

    ප‍්‍රකාශයට පත් කර ඇති පර්යේෂණයකින් දැනටමත් ඔප්පු කර තිබෙනවා කම්කරු වැටුප ඵලදායීතාවය හා සම්බන්ධ කර ඇති තේ වතුවල කම්කරුවන්ට මසකට රුපියල් 65,000/-කට වැඩි මුදලක් උපයා ගැනීමට හැකියාව ඇති බව. එපමණක් නොව මෙම ක‍්‍රමය අත්හදා බලා පසුව අත්හැර දැමූ වතුවල නැවත දෛනික වැටුප් ක‍්‍රමවේදයට පැමිණීමත් සමඟ සේවක ඵලදායිතාවය, ඉපැයීම් හා වතුවල ඵලදායීතාවය තියුණු ලෙස පහත වැටී තිබෙන බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙනවා. ඒවගේම අපගේ සේවකයින් අතර පවා මෙම වැටුප් ප‍්‍රතිසංස්කරණවලින් ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභයක් ලැබෙනු ඇති බවට දැන් වැටහීමක් තිබෙනවා. දෛනික රුපියල් දහසේ වැටුපට වඩා මෙමඟින් කම්කරුවන්ට ලබා දෙන වටිනාකම බොහෝ සෙයින් වටින බව මගේ විශ්වාසයයි.’’ යනුවෙන් බුළුමුල්ල මහතා සඳහන් කළේය.

    1992 වසරේදී පුද්ගලීකරණය කිරීමෙන් පසු තේ කර්මාන්තයේ නිෂ්පාදන පිරිවැය (COP) ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇතත් ඊට සාපේක්ෂව ඵලාදායීතාවය හා අස්වැන්න වර්ධනය වී නොමැත. ‘‘ඒ අනුව නිෂ්පාදන පිරිවැය සඳහා වැය වන ශ‍්‍රම කොටස වර්තමානයේදී 63%ක් ලෙස දැක්වෙනවා. වැටුප් ඵලදායීතාවය හා සම්බන්ධ වූ විට සමස්ත නිෂ්පාදන පිරිවැය අඩු වී කම්කරුවෙකුගේ ඉපැයීම් වැඩි වන බවක් පෙන්නුම් කළා. ආර්ථිකයන්හි පරිමාව ක‍්‍රියා කරන්නේ මේ ආකාරයටයි.’’ යනුවෙන් වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

    ලෝකයේ තේ නිෂ්පාදනය කරන වෙනත් කිසිඳු රටකට වඩා වැඩි වැටුපක් අප විසින් අපගේ කම්කරුවන්ට ගෙවන නමුත් අප තවමත් අඩු ශ‍්‍රම ඵලදායීතාවක් වාර්තා කරනවා. මෙම ප‍්‍රතිසංස්කරණය මගින් ඔවුන්ට වැඩි නිදහසක් හිමි වනවාx එනම්, නියමිත අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ඉතිරි කාලය ඔවුන්ට වෙනත් කාර්යයන් සඳහා යෙදවිය හැකි වීමයි.’’

    ‘‘අප යෝජනා කරන වැටුප් ක‍්‍රමය ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වලට අලූත් වුවත්, මෙම ක‍්‍රමය කුඩා තේ වතු හිමියන් දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක කළ මෙන්ම ඉහත සමාගම් හා රජයට අයත් වතුවල සාර්ථක ලෙස අත් හදා බලා ඇති ක‍්‍රමවේදයේම වැඩිදියුණුවක්.’’ යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා පැවසුවේය.

    සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා සිය පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් අදහස් දක්වමින් පැවසුවේ දෛනික වැටුප් ක‍්‍රමවේදයකට වඩා ඵලදායිතාව හා බැඳුනු වැටුප් ක‍්‍රමවේදයක් මගින් වතු කම්කරුවන්ට මෙන්ම කුඩා තේ වතු හිමියන්ට ලැබී ඇති දිරිගැන්වීම පිළිබඳවයි.

    ‘‘වතු කම්කරුවන්ගේ ඉපැයීම් ඔවුන්ගේ පාලනය තුළ තිබෙන විට ඔවුන් වඩාත් සවිබල ගැන්වෙන බව මගේ විශ්වාසයයි. ඔවුන් යම් පුද්ගලික කාර්යයක් කිරීමට අරමුණු කරගෙන සිටින විට ඔවුන් වැඩ කරන පැය ගණන කළමනාකරණය කරමින් ඔවුන්ට ඒ සඳහා යොමු වීමට හැකියාව තිබෙනවා. මගේ අත්දැකීම් වලින් මෙන්ම අනෙක් කුඩා තේ වතු හිමියන්ගේ අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින් මා පවසන්නේ ඵලදායිතාව හා බැඳුනු වැටුප් ක‍්‍රමවේදයක් කරා ගමන් කිරීම අපගේ කර්මාන්තය වඩාත් නිවැරදි යොමු වීමක් ලෙස මා දකිනවා. එමඟින් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාවය හා ජීවන තත්වය ඉහළ නැංවීමටත් අපගේ කර්මාන්තයේ අස්වැන්න වැඩි කිරීමටත් සමත් වී තිබෙනවා.’’ යනුවෙන් ගුණරත්න මහතා පැවසුවේය.

    මෙම ඵලදායිතාවය හා බැඳුනු වැටුප් ආකෘතිය මගින් වතු කම්කරුවන් ඔවුන්ගේ ප‍්‍රජාවන් අතර ‘වෙනසක් ඇති කිරීමේ නියෝජිතයින්’ බවට පත් වනු ඇති බව වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී.a එවැනි ආකෘතියක් මගින් සෑම වතු කම්කරුවෙකුගේම තිරසාර අනාගත අභිවෘද්ධිය සහතික කිරීම සඳහා සියලූ පාර්ශව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවෙන් සිටින බව සංගමය නැවත අවධාරණය කළේය.

    Image 01 - ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල

    Image 02 - වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය රොෂාන් රාජදුරෙයි

    Image 03 - සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න