සිංගර් ෆැෂන් ඇකඩමිය CSD Validation හිමි කර ගනී

    July, 12, 2018

    මෙරට දරුවන් සඳහා විලාසිතා ක්ෂේත්‍රයේ සාර්ථක ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දෙමින් සිංගර් ෆැෂන් ඇකඩමිය, එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ CSD Validation තත්ත්වය හිමි මෙරට ප්‍රථම ආයතනය බවට පත්විය.

    එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය (CSD) ලොව විශාලත ම වෘත්තීය සැලසුම් නිර්මාණකරුවන්ගේ රාජකීය වරලත් ආයතනයවේ. ලොව පුරා රාජ්‍යයන් 33ක් සාමාජිකත්වය දරන එය සැලසුම් නිර්මාණ ක්ෂේත්‍රයේ සියලු අංශ නියෝජනය කරන සුවිශේෂී ආයතනයක්වන අතර සැලසුම් නිර්මාණකරුවන්ගේ වෘත්තීය ආයතනය ලෙසත්, වෘත්තීය සැලසුම් නිර්මාණ ක්‍රමවේද සම්බන්ධ බලධාරී ආයතනය ලෙසත් ජාත්‍යන්තරව ඇගයුමට ලක්ව සිටී.

    වේගයෙන් වෙනස්වන මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (CPD) ඉතා වැදගත් බව CSD සංගමයේ විශ්වාසයයි. එම විශ්වාසය සහ පාඨමාලා සහතිකකරණ වැඩසටහනට අනුව එම සංගමය සිංගර් ෆැෂන් ඇකඩමියේ විද්‍යාත්මක ඇඳුම් නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාව, මූලික ඇඳුම් නිර්මාණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සහ සාරි බ්ලවුස් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සඳහා පස් අවුරුදු CSD Validation තත්ත්වය පිරිනැමීමට කටයුතු කළේය.

    පාඨමාලා සහතික කිරීමේ වැඩසටහන තුළ ඉහළ ප්‍රමිතීන්ට අනුකූල CPD ආකෘති, පුහුණු පාඨමාලා සහ අන්තර්ජාල අධ්‍යයන වැඩසටහන් සඳහා CSD Validation තත්ත්වය පිරිනැමේ. ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්‍රමුඛ සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකය ද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙරට සිසුන්ට හිමිවේ.

    "එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ සහතිකකරණය හිමිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. අපගේ පාඨමාලාවල උසස්ම ප්‍රමිතිය මෙමගින් තවදුරටත් තහවුරු වනවා. CSD සංගමයේ සහතිකකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම දේශීය ආයතනය ලෙස සිංගර් ෆැෂන් ඇකඩමිය ගෝලීය මෝස්තර නිර්මාණ කර්මාන්තය තුළ තවත් ඉහළ තලයකට ගමන් කිරීම සඳහා මහෝපකාරීවන ජාත්‍යන්තරව පිළිගත් මගක් දේශීය සිසුන් වෙනුවෙන් උදාකර දී තිබෙනවා" යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

    සිංගර් ෆැෂන් ඇකඩමියට CSD Validation තත්ත්වය හිමිවී ඇති බැවින් එහි සිසුන් හට කිසිඳු අයදුම්පතක් හෝ ඇතුළත් වීමේ ගාස්තුවකින් තොරව එම සංගමයේ ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගත හැකි අතර ඉන් අනතුරුව එම සංගමයේ අනෙකුත් සාමාජිකත්ව මට්ටම් දක්වා ඉදිරියට යාමට ද හැකිවේ. විශ්වසනීයත්වය, ජාලගතකරණය(Networking), අන්තර්ජාල කළඹ (Online Portfolio) මෙන්ම පොදු පැතිකඩ (Public Profile), වෘත්තීය සංවර්ධනය සහ මෝස්‌තර නිර්මාණ කර්මාන්තයේ නවත ම පුවත් සමගින් CSD ශිෂ්‍ය නාමාවලියට ඇතුළත් වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් CSD ශිෂ්‍ය සාමාජිකත්වය හරහා හිමිවේ. සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසුන්ට සඟරා, වාර්තා, උපදේශන තීරු ලිපි, ග්‍රන්ථ විචාර, කළඹ ගැලරි (Portfolio Galleries) සහ තවත් බොහෝ ඩිජිටල් අන්තර්ගතයන් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිවේ.

    සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් ජාත්‍යන්තර කීර්තියට පත් 'Burda Style' විලාසිතා සඟරාව සියලු සිසුන් අතර බෙදාහැරීමට ද කටයුතු කරයි.

    සිංගර් ෆැෂන් ඇකඩමිය CSD සංගමයේ ප්‍රධාන වෙබ් අඩවියේ ද ලැයිස්තුගත කර තිබීම විශේෂත්වයකි.

    මින් පෙර විලාසිතා සහ මෝස්‌තර නිර්මාණය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් සහතිකපත් ලබා ගැනීමේ අවස්ථාව හිමි වූයේ නාගරික ප්‍රදේශවල ඉතා සීමිත පිරිසකට පමණි. කෙසේවෙතත්, සිංගර් ෆැෂන් ඇකඩමිය දිවයින පුරා ස්ථාන 60කට අධික ප්‍රමාණයක ව්‍යාප්තව ඇති බැවින් CSD සංගමයේ වලංගුතාව සහිත පාඨමාලාවන්ට සහභාගී වීම සඳහා දිවයින පුරා විසිරී සිටින සිසුන් හට අවස්ථාව ලබාදී ඇත.

    CSD වැඩසටහන සමග සම්බන්ධ වීම මගින් මෝස්‌තර නිර්මාණකරුවන්ගේ වෘත්තීය තත්ත්වය වැඩිදියුණුවන බැවින් එමගින් දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද උසස් රැකියා අවස්ථා හිමිකර ගැනීමට ද ඔවුන්ට හැකිවේ.

    "සිංගර් ෆැෂන් ඇකඩමිය සිය පාඨමාලා පහක් සඳහා CSD Validation තත්ත්වය හිමිකර ගැනීම පිළිබඳ අප සතුටු වනවා. එය එම සිසුන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බෙහෙවින් වැදගත්වන බව අපගේ විශ්වාසයයි. මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ජාත්‍යන්තර අවබෝධතාව සහ සංස්කෘතික සබඳතා ස්ථාපිත කිරීම සඳහා අප ක්‍රියාත්මක කර ඇති සහයෝගිතාවයේ කැපී පෙනෙන පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඉදිරියේදීත් සිංගර් ෆැෂන් ඇකඩමිය සමග සමීපව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා" යනුවෙන් CSD සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී ෆ්‍රෑන්ක් පීටර්ස් මහතා ප්‍රකාශ කළේය.