සිංහපුත්‍රයාගේ අයිතිය අලුත් අතකට

    December, 6, 2019

    මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධනා කොටස්කරුවා වූ රාවන විජේරත්න, 50.31% ක්වූ සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (05) දිනයේ දී මුළුමනින්ම විකුණා දමන ලදී.

    මෙහිදී ගැනුම්කරුවා වූ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමයි.

    රු. 9.50 බැගින් කොටස් 31,675,870 ක් මෙහිදී හුවමාරු විය. මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 300.92 කි.

    සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී වෙත මූල්‍ය ව්‍යාපාර සඳහා දී තිබෙන බලපත්‍රය අවලංගු කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය ජූලි මාසයේ දී දැනුම් දී තිබුණි.  සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සිය විරෝධතාවය පළකරනු ලැබීය. එහිදී සමාගම වැඩිදුරටත් කියා සිටියේ සිය බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දක්වනු ලබන බවත් තම සමාගමේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නව ආයෝජකයෙකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්ය.