සිගරට් මිල වැඩි වෙද්දී, සමාගමේ ලාභයි – ආණ්ඩුවේ බදු ආදායමයි දෙකම වැඩි වෙලා

    November, 9, 2015

    ලංකා දුම්කොළ සමාගමේ 2015 වසරේ පළමු මාස 09 සඳහා වන මූල්‍ය වාර්තාව නොබෝදා එළිදක්වනු ලැබීය. එහි සඳහන් වන පරිදි 2015 පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 68.6 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය වසරේ පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණයට වඩා 27% ක ඉහළ යාමකි.

    මෙහිදී සමාගම විසින් වසරේ පළමු මාස 09 තුළ දී උපයා ඇති සම්පූර්ණ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 8.8 ක් වන අතර එය 2014 වසරේ පළමු මාස 09 තුළ දී සමාගම උපයන ලද බදු පසු ලාභය වූ රුපියල් බිලියන 6.6 හා සැසඳීමේ දී 33.33% ක වර්ධනයකි. අනෙක් අතට සමාගමේ ආදායම වර්තා වන්නේ මේ ලෙසටය. 2014 පළමු මාස 09 ට රුපියල් බිලියන 64 ක දළ ආදායමක් ලැබූ ලංකා දුම්කොළ සමාගම 2015 පළමු මාස 09 ට රුපියල් බිලියන 82.79 ක දළ ආදායමක් ලබයි. එය 29% ක වර්ධනයකි.

    මේ සම්බන්ධයෙන් සමාගම පවසා සිටින්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ දී පාරිභෝගිකයින්ගේ බැහැර කළ හැකි ආදායම (disposable income) ඉහළ යාම සමාගමේ මෙකී කාර්යසාධනයට හේතු වී ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම මූල්‍ය වාර්තා තුළින් තහවුරු වන්නේ හුදෙක් මිල වැඩි කිරීම තුළින් පමණක් මෙරට සිගරට් පරිභෝජනය අඩු වී නොමැති බවයි. ඒ බව මනා කොට තහුවුරු වන්නේ සිගරට් මිල වැඩි වීමත්, දුම්කොළ සමාගමේ ලාභයත්, රජයේ බදු ආදායමත් අතර ධනාත්මක සහසම්බන්ධතාවක් නිරන්තරයෙන් දැකිය හැකි බැවිනි.

    එසේ නම් ජනතාවගේ දුම්බීමේ පුරුද්ද අධෛර්යමත් කරලීම පිණිස, සිගරට් මිල වැඩි කිරීම යනු තවදුරටත් සාධනීය සංරචකයක් නොවන බව මෙම මූල්‍ය වාර්තා තුළින් තහවුරු වේ. එය හුදෙක් සමාගමේ ලාභය මෙන්ම රජයේ බදු ආදායමට සෘජුව බලපාන කරුණකි. අනෙක් අතට පාරිභෝගිකයාගේ බැහැර කළ හැකි ආදායම ඉහළ ගියා යැයි සමාගම කියූවද එය වූයේ කෙසේදැයි යන්න කිසිදු මෙතෙක් තහවුරු වී නැත.

    එබැවින් තවදුරටත් රජය විසින් සිගරට් මිල වැඩි කිරීම, රටේ ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගන්නා තීරණයක් නොවන බව පැහැදිලිය. එය හුදෙක් රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට සිදුකරන උපක්‍රමයක් පමණි.