සිනමා තිරයට කලින් ගුවන් තිරයට ගිය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයට ඔස්කාර් දොරටු වැසෙයි

    September, 28, 2026

    ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙසින් සැලකෙන ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා උළෙල වෙනුවෙන් ප්‍රථම වරට නිල වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලබන චිත්‍රපටය, අද (28) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

    එහිදී “විහඟ ප්‍රේමය“, “ආයු“, “ෆාදර්“, “ඇන්තනි“ (දෙමළ), “රිවස්ටර්න්“ සහ “ක්‍රිකට් සාදු“ යන චිත්‍රපට 6 අයදුම් කර තිබුණු අතර එම චිත්‍රපට අතුරින් ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටර්න්‘ චිත්‍රපටය එළඹෙන 99 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙසින් නම් කර තිබේ.

    මෙතෙක් කලක් ඔස්කාර් සිනමා සම්මාන උළෙලවල ඇතැම් අවස්ථාවන් හිදී පෞද්ගලික වශයෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට, සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලැබූව ද නිල වශයෙන් ශ්‍රී ලංකාව විසින් චිත්‍රපටයක් ඊට නම් කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.

    කෙසේවෙතත් මේ සඳහා අයදුම්කර තිබූ චිත්‍රපට 6න් 2ක් අදාළ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීමෙන් ඔස්කාර් සිනමා උළෙල වෙනුවෙන් චිත්‍රපට 4ක් පමණක් සලකා බැලීමට ඒ සඳහා පත්කර තිබෙන කමිටුව පියවර ගෙන තිබුණි.

    මීට මූලික වශයෙන් හේතු වී තිබුණේ අදාළ චිත්‍රපට දෙක ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට පෙර වෙනත් මාධ්‍යයන් හි තිරගත කර තිබීමයි. එහිදී ‘ආයු‘ චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල ප්‍රදර්ශනයට පළමුව ගුවන් සේවා දෙකක ප්‍රදර්ශනය කර තිබීම හේතුවෙනු සුදුසුකම් නොලැබීම විශේෂත්වයකි.

    මේ සම්බන්ධයෙන් කමිටු ලේකම්, උදිත ලක්මාල් කහඳවආරච්චි මහතා මෙසේ අදහස් දැක්වීය.

    “අපට ලැබුණු චිත්‍රපට 6න් චිත්‍රපට 4ක් ඔස්කාර් අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය වෙනුවෙන් බලපැවැත්වෙන නීති සංග්‍රහයක් ක්‍රියාත්මක වෙනවා. 16 වන නීති සංග්‍රහයේ තමා අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය සඳහා බලපැවැත්වෙන්නේ. මේ අනුව අප වෙත ලැබුණු චිත්‍රපට 6න් චිත්‍රපට 4ක් පමණයි 16 වන නීති සංග්‍රහයේ සියලුම නීති රෙගුලාසීන් සපුරාලීමට සමත්ව තිබෙන්නේ. ඒ අනුව චිත්‍රපට දෙකක් 16 වන නීති සංග්‍රහයේ 2C වගන්තිය සපුරාලීමට අසමත්වෙනවා. 16 වන නීති සංග්‍රහයේ 2C වගන්තියට අනුව යම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත කිරීමට පෙර එකී චිත්‍රපටය, සිනමා ශාලා නොවන වෙනත් මාධ්‍යයක් තුළ ප්‍රදර්ශනය කොට හෝ මුදා හැර තිබේ නම්, එකී චිත්‍රපටය ඔස්කාර් සඳහා සලකා බැලීමට සුදුසුකම් ලබන්නේ නැහැ.“

    “ඒ අනුව යම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාව තුළ සිනමා ශාලා තුළ වානිජ හා නිල වශයෙන් තිරගත කිරීමට පෙර යම් රූපවාහිනී නාලිකාවක, කේබල් ටීවී නාලිකාවක, මුදල් ගෙවා නැරඹිය හැකි මාධ්‍ය, ඩීවීඩී මාධ්‍ය, ගුවන් යානා තුළ ප්‍රදර්ශනය කිරීම, අන්තර්ජාලය තුළ ප්‍රදර්ශනය කිරීම හෝ ප්‍රසිද්ද ස්ට්‍රීමිං වේදිකා තුළ ප්‍රදර්ශනය කොට තිබේ නම් එකී චිත්‍රපටය ඔස්කාර් සලකා බැලීම සඳහා සුදුසුකම් නොලැබෙන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2025 ඔක්තෝබර් 02 දින තිරගත කළ නමුත් ඊට වසර 6කට පෙර 2020 ජූලි 19 දින දකුණු අප්‍රිකාවේ රූපවාහිනී නාලිකාවකත්, ඊට අමතරව 2022 පෙබරවාරි සිට මැයි කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවට අයත් ගුවන් සමාගමක, 2022 මාර්තු සහ  අගෝස්තු කාලවකවානුව සවුදි අරාබියට අයත් ගුවන් සමාගමක චිත්‍රපටය මුදා හැරීම හේතු කර ගෙන චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ආයු‘ චිත්‍රපටය 16 නීති සංග්‍රහයේ 2C වගන්තියට පටහැනි වීම නිසා ඔස්කාර් උළෙලට සලකා බැලීම සඳහා සුදුසුකම් නොලැබූ චිත්‍රපටයක් බවට පත්වෙනවා.“

    “මෙම නීතිය යටතේම සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘විහග ප්‍රේමය‘ චිත්‍රපටයත් සුදුසුකම් ලබන්නේ නැහැ. ‘විහඟ ප්‍රේමය‘ ශ්‍රී ලංකාව තුළ තිරගත වන්නේ 2026 අගෝස්තු 07 වනදා, නමුත් ඊට වසර දෙකකට පෙර එනම් 2024 මාර්තු 01 සිට ඇමරිකාවේ ප්‍රසිද්ධ නාලිකාවක, පෝලන්තය, රුමේනියාව. හංගේරියාව සහ බල්ගේරියාව යන යුරෝපීය රටවලට පමණක් නැරඹිය හැකි වන සේ චිත්‍රපටය මුදාහැර තිබෙනවා.“