සිමෙන්ති හිඟය පියවීමට ටෝකියෝ සිමෙන්ති සමාගමේ සැපයුම ඉහළට

    October, 28, 2021

    වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය පියවීම සඳහා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම විසින් කඩිනම් පියවර කිහිපයක් ගෙන ඇති බව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. ටෝකියෝ සිමෙන්ති සමාගම, ත්‍රිකුණාමලයේ පිහිටි සිය සිමෙන්ති නිෂ්පාදන කම්හලේ මසකට මෙට්‍රික් ටොන් 170,000ක් පමණ වන උපරිම ස්ථාපිත ධාරිතාවයෙන් මේ වනවිටත් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන බවත්, දිවයින පුරා බෙදාහැරීම් ක්‍රියාවලිය ද ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුතුව අඛණ්ඩව සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කරයි. රට තුල නිපැයුම් ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් සිදුකිරීමට අමතරව කොළඹ වරායේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමේ පර්යන්තය හරහා මසකට සිමෙන්ති තොග මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමද මෙම කාලය පුරා අඛණ්ඩව සිදුකෙරේ. මීට අමතරව, දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මඟහරවා ගැනීම සඳහා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊට ක්ෂණික විසඳුමක් ලෙස මසකට අතිරේක සිමෙන්ති මෙට්‍රික් ටොන් 12,000ක් ආනයනය කිරීමට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කර ඇති බවද ආචාර්ය කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ටෝකියෝ සිමෙන්ති සමාගම දිවයිනේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සිය ජාතික වගකීම පෙරටුකර ගනිමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බාධාවකින් තොර සැපයුමක් සෑමවිටම සහතික කරන බව ආචාර්ය කබ්රාල් සිය ප්‍රකාශයෙන් යළි අවධාරණය කරයි. ඒ නමුත් සමාගමෙන් පරිබාහිර සාධක ගණනාවක් හේතුවෙන් වෙළඳපොලේ මේ වනවිට දැඩි සිමෙන්ති හිඟයක් මතුව ඇත. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩයක් ලෙස සිමෙන්ති නැව්ගත කිරීමට යොදාගන්නා විශේෂ තොග ප්‍රවාහන නෞකා හිඟකම මින් පළමුවැන්නයි. දෙවනුව, බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති වන සැලකිය යුතු ප්‍රමාදයන්, එනම් සාමාන්‍යයෙන් මීට පෙර එක් දිනකදී සිදුවුනු එම ක්‍රියාවලියට දැන් සතියකට වඩා ගතවීම ද මීට බලපා ඇත. මේ ඇතුළු සාධක ගණනාවක් වෙළඳපොලේ වර්තමානයේ උද්ගතව ඇති සිමෙන්ති හිඟයට අඩු වැඩි වශයෙන් බලපා ඇත.

    තවද, ටෝකියෝ සිමෙන්ති සමාගම ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් සිය ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් පුළුල් කිරීමේ කටයුතු ද මේ වනවිට සිදුකරමින් පවතියි. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවයන් සපුරාලීමට පෙරසූදානමක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දිනා ඇති පාරිභෝගික විශ්වාසය තහවුරු කරනු ඇත.