සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුල ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත් වේ

    October, 2, 2020

    සැප්තැම්බර් මස තුල 12% වර්ධනයක් දැක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්, එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින් සමන්විත මිල දර්ශකය වන S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද සැප්තැම්බර්  මාසය තුල 4.39% ක ප්‍රගතියක් වාර්තා කල අතර සැප්තැම්බර් 30 වන දිනය අවසානයේදී දර්ශක අගය 2,463.27 ලෙස  සටහන් විය.

    වෙළඳ  ගනුදෙනු දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607 ලෙස සැප්තැම්බර් මාසයෙදී වාර් තා  වූ අතර මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව 96% කින් සැප්තැම්බර් මාසයෙදී මෙම අගය වර්ධනය වීම තවත් විශේෂත්වයක් වන අතර මෙමගින් ආයෝජකයින්ගේ උනන්දුවද පෙන්නුම් කරයි. තවද සැප්තැම්බර් මාසයෙදී  සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50ක් ලෙස වාර්තා විය.

    මෙම වාර්තාව  පිළිබදව කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ  “මැයි 11 නැවත වෙළදපොළ විවෘත කල පසු වෙළදපොළ දැක් වූ ඉහළ ප්‍රගතිය ගැන අප සතුටු වෙනවා. පොළි අනුපාතයන් යම්තාක් දුරට පහත වැටී ඇති වාතාවරණයක් තුල තැන්පතු වශයෙන් රැදී ඇති මුදල් කොටස් වෙළදපොළ තුල ආයෝජනය වන රටාවක් මෑතකදී අප දැක ඇති අතර මෙය ඉදිරි මාස කිහිපය තුල එලෙසම සිදුවනු ඇතැයි අප බලාපොරෝත්තු වෙනවා. කොටස් වෙළෙදපොලෙහි ලැයිස්තුගත සමාගම් කොවිඩ් වසංගතයෙහි මුල්‍යමය බලපෑම පාලනය කිරීම හේතුවෙන් අයෝජක ප්‍රජාව අතර විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඉදිරි කාර්තුවන් තුලදී ශක්තිමත් ඉපැයිම් ඉදිරිපත් කල හැකි යැයි බලාපොරොත්තුවන සමාගම් ආයෝජක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා”.

    අනිකුත් ගෝලීය දර්ශක හා සසදන කල ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රස්තාරික නිරූපණය