සියලු දේශපාලකයින් විගණනය කර හෙළිදරව් කළ නොහැකි වත්කම් රාජසන්තක කළ යුතුයි – ජනතාවගෙන් 96% ක් කියයි

    May, 2, 2022

    සියලූම දේශපාලනඥයන් විගණනයට ලක් කළ යුතු යැයි විශ්වාස කරනු ලබන බවත් එසේ ඔවුන්ගේ විගණනය කළ නොහැකි ධනය රජය විසින් රාජසන්තක කළ යුතු බවත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 96% කට වැඩි ප‍්‍රමාණයකගේ මතය බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් විසින් පවත්වනු ලබන ප‍්‍රජාතන්න‍්‍රවාදී ආණ්ඩුකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකයේ (දෙවැනි අදියරයේ) නවතම සොයිගැනීම් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කරයි.

    මෙම විද්‍යාත්මක මත විමසුම මගින් වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මහජනතාවගේ අත්දැකීම්වල මතුපිට චිත‍්‍රයක් / මුලික අදහසක් ග‍්‍රහණය කර ගැනීම අරමුණු කරගෙන ඇත.

    තවද, මෙම මත විමසුම මගින් රටේ පවතින අර්බුදයට හේතුන් මෙන්ම විසදුම්, ශ‍්‍රී ලාංකික ජනතාවගේ ඇසින් විමසා බැලීම සිදු කරනු ලබන බව  විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කර සිටී.

    මෙම සමීක්ෂණය අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් යටතේ වුවත් සෝෂල් ඉන්ඩිකේටර් හි දිවයින පුරා පවතින ක්ෂේත‍්‍ර ජාලය භාවිතා කරමින් ඉතා කෙටි කාලයක් තුළ සිදු කරන ලද්දක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    ක‍්‍රමවේදය

    ප‍්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් හතරෙන් (සිංහල,දෙමළ,උඩරට දෙමළ සහ මුස්ලිම්) නියැදි ප‍්‍රතිචාර දැක්වුවන් 1200 ක් සමග අර්ධ ව්‍යුහගත ප‍්‍රශ්නාවලියක් භාවිතයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකය (අදියර 2) යන මෙම සමීක්ෂණය සිදු කර ඇත. මෙහිදී නියැදිය විහිදී තිබෙන්නේ සියලූම දිස්ත‍්‍රික්කවල නාගරික සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පුරුෂයන් සහ ස්ත‍්‍රීන් ගෙනි.

    නියැදි ස්ථාන තේරීම සඳහා බහු - අදියර අහඹු ස්ථාන නියැදි ක‍්‍රමයක් භාවිතා කරන ලද අතර, නියැදි ස්ථාන තුළ හිමබෝල නියැදි තාක්ෂණය (snowball sampling technique) භාවිතා කරමින් ප‍්‍රතිචාර දැක්වුවන් තෝරා ගන්නා ලදී.
    මෙම සමීක්ෂණය 2022 අපේ‍්‍රල් 19 සිට 25 දක්වා කාලය තුළ සිදු කෙරුණි. මෙහිදී දත්ත කට්ටලය, ජනගහනයේ සැබෑ දිස්ත‍්‍රික්කය සහ ජනවාර්ගික අනුපාතය පිළිබිඹු කිරීම සඳහා බර තබා ඇත. මෙහි දත්ත සමාජ විද්‍යාවන් සඳහා භාවිතා වන සංඛ්‍යාන පැකේජය (Statistical Package for Social Sciences-SPSS) භාවිත කරමින් විශ්ලේෂණය කරනු ලැබ ඇත.

    සොයාගැනීම්

    පුළුල් ලෙස ව්‍යාප්ත වු දුක්වේදනාව

    මෙම සමීක්ෂණයේ සොයාගැනීම් තුළින් රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට එරෙහිව පවතින ජනතා විරෝධය ගාලූ මුවදොර උද්ඝෝෂණ ස්ථානයේ පමණක් සීමා නොවී, දිවයින පුරා සෑම ජනවාර්ගික කණ්ඩායම්වල සහ ආර්ථික කණ්ඩායම්වල ස්ත‍්‍රීන් සහ පුරුෂයන් අතර පැතිරීම ආණ්ඩුවට නිසැක පණිවිඩයක් ලබා දෙයි. මෙහිදී වර්තමාන අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයක් පීඩාවට පත්ව ඇති බව සමීක්ෂණ සොයාගැනීම් වලින් පෙනී යයි. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 88% ක් ප‍්‍රකාශ කර සිටින්නේ තමන් හෝ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයෙකුට පසුගිය මාසයක කාලය තුළ ගෑස්, ඉන්ධන, කිරිපිටි හෝ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටීමට සිදු වු බවයි. පසුගිය මාසය තුළ ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලාංකිකයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම ප‍්‍රකාශ කර සිටින්නේ ඔහුගේ හෝ ඇයගේ ආදායමට හෝ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයකුගේ ආදායමට බලපෑම් එල්ල වී ඇති බවයි. මෙම අර්බුදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසිභාවය පිළිබඳ මහජන විඥනය අවදි කර ඇති ආකාරය සමීක්ෂණයේ සොයාගැනීම්වලින් හෙළිවේ. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් ස්ත‍්‍රීන් සහ පුරුෂයන් සමානව ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මෙම අර්බුදකාරී තත්ත්වයට වගකිව යුතු අයට එරෙහිව අවම වශයෙන් එක් විරෝධතා ව්‍යාපාරයකට හෝ සහභාගී වී ඇත.

    ගෝඨභය රාජපක්ෂගේ පාලනයට දොස් පැවරිම / පැවරිය යුතුය

    නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ ඇති වු දරුණුතම අර්බුදය ලෙස සැලකෙන වර්තමාන මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් දිවයින පුරා ජනතාව ඒකමතිකව ගෝඨභය රාජපක්ෂ ආණ්ඩුවට දොස් පවරයි. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 62% ක් ගෝඨභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථීකයේ දුර්වල කළමනාකරණයට දොස් පවරන අතර පිළිවෙලින් 14.5% සහ 14.4% ක් නිදහසින් පසු පත්වු ආණ්ඩුවල ආර්ථිකයේ දුර්වල කළමනාකරණයට සහ රටේ දුෂිත දේශපාලන සංස්කෘතියට දොස් පවරයි.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විගණනය කර රාජපක්ෂ පවුල් දේශපාලනය අවසන් කරන්න

    වර්තමාන අර්බුදය විසඳීම සඳහා විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් කෙරෙහි මහජන සහයෝගය මෙම අධ්‍යනයෙන් පරීක්ෂා කරන ලදී. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 96% කට වැඩි ප‍්‍රමාණයක් විශ්වාස කරන්නේ සියලූම දේශපාලනඥයන් විගණනයට ලක් කළ යුතු අතර ඔවුන්ගේ විගණනය කළ නොහැකි ධනය රජය විසින් රාජසන්තක කළ යුතු බවයි. ශ‍්‍රී ලාංකිකයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම දරන මතය වන්නේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවත් රාජපක්ෂ පවුල ශ‍්‍රී ලාංකික දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවට කරන ලද යෝජනාවට 87% ක් සහය දක්වයි. එම නිසා මෙම සමීක්ෂණයෙන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ පවතින අර්බුදය විසඳීමේ දී රාජපක්ෂලාට කිසිදු කාර්යභාරයක් නොමැති බවත් ඔවුන් ඉවත් කිරීම වර්තමාන අර්බුදයෙන් මිදීමේ මාර්ගය ලෙසත් ජනතා සිත් තුළ පවතින බවයි. මීට වසර තුනකට පෙර ඔහුට වැඩි ඡුන්දට ලබා දුන් සිංහල බහුතරය ඇතුලූ සියලූම වාර්ගික ප‍්‍රජාවන් විසින් මෙම මතය දරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

    මෙහිදී පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා, අනෙකුත් යෝජනා වශයෙන් පවතින අර්බුදයෙන් ගොඩ එනතුරු විද්වත් කණ්ඩායමක් මගින් රට පාලනය කිරීම, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂවලින් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම, 20 වැනි සංශෝධනය අහෝසි කිරීම සහ 19 වැනි සංශෝධනයට සමාන සංශෝධනයක් ගෙන ඒම යන යෝජනා සඳහා පැහැදිලි මහජන සහයෝගයක් ලැබී ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම ඉල්ලා අස්විය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් ජනතාව ප‍්‍රවේසම් වී ඇති බව මෙහිදී පෙනේ. එවැනි යෝජනාවකට සහය දක්වන්නේ ශී‍්‍ර ලාංකිකයන් 56% ක් පමණකි. සමීක්ෂණ සොයාගැනීම්වලට අනුව, එම යෝජනා සඳහා වන සහයෝගය විවිධ ජනවාර්ගික ප‍්‍රජාවන් හරහා සැලකිය යුතු ලෙස වෙනස් නොවේ.

    පුළුල්ව ව්‍යාප්ත වු අශූභවාදය

    ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු බහුතරයක් තම අනාගතය පිළිබඳ අශූභවාදී අදහස් ප‍්‍රකාශ කරති. රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන්නේ 2% ක් පමණි. 58% ක් එය දිගු කාලයක් ගත වනු ඇතැයි සිතන අතර 14% ක් සිතන්නේ එයට යම් කාලයක් ගත වනු ඇති බවයි. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකකට මදක් වැඩි පිරිසක් කියා සිටින්නේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන්නේ කවදා දැයි තමන් නොදන්නා බවයි.