සිසුදරුවන්ගේ සිහින සැබෑ කරවන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ මෙවරත්

    February, 24, 2017

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි ප්‍රමුඛතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස සා/පෙළ ඉහළින් සමත්වූ සිසු සිසුවියන් 36 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා මරදාන ටවර් හෝල්හිදී පැවැත්විණ. සෙලින්කෝ ලයිෆ්හි අධ්‍යක්ෂ පාලිත ජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේය.

    මෙහිදී අදහස් දක්වමින් CDB කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වීම සමාගමේ වැදගත් ආයතනික සමාජ සත්කාරයක් වන බව ය. “විශේෂයෙන්ම අප ක්‍රියාත්මක කරන තිරසාරමය කටයුතු අතුරින් වැදගත්තැනක් මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනට හිමිවෙනවා. විශිෂ්ට ප්‍රතිඵල හරහා දස්කම් දැක්වූ මේ සිසු දරු දැරියන්ට තමන්ගේ සිහින හා බලාපොරොත්තු ඉටුකරගැන්මට දායකත්වයක් ලබාදෙමින් ඒ හරහා අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව වැඩිකිරීමට දායකවන්න ලැබීම ගැනත් අපි අතිශය සතුටට පත්වෙනවා”යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    පාලිත ජයවර්ධන මහතා තම දේශනය අතරතුරදී කියා සිටියේ, අධ්‍යාපනය යනු ශ්‍රී ලාංකේය දෙමාපියන් විසින් වත්කමක් ලෙස සලකනු ලබන පසුබිමක CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන ඔස්සේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන සිසු පරපුරට අත්වැල් සැපයීම සියලු දෙනාගේ ප්‍රශංසාවට බඳුන් විය යුතු බව ය.

    වාර්ෂිකව පැවැත්වෙන CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන මෙවර පැවැත්වුණේ 09 වැනි වරට ය. මේ දක්වා කාලය තුළ සිසු සිසුවියන් 370 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 14කට අධික වටිනාකමකින් යුතු ශිෂ්‍යත්ව ප්‍රදානය කොට තිබේ. මෙම වැඩපිළිවෙළ හරහා මූල්‍ය දුෂ්කරතාවකින් තොරව විශිෂ්ට ප්‍රතිඵල සමග පාසල් අධ්‍යාපනය නිමකිරීමටත් විශ්ව විද්‍යාල වරම් ලබාගැනීමටත් සිසුන්ට ඉඩකඩ විවර වී තිබේ.

    මේ යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වන සිසුවකුට අපොස සාමාන්‍ය පෙළ අවසන් කිරීම දක්වා කාලය තුළ රුපියල් 50,000ක මුදලක් ද අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට සමතෙකුට උසස් පෙළ අවසන් කිරීම දක්වා වූ වසර දෙකක කාලය තුළ රුපියල් 30,000ක මුදලක් ද හිමිවේ. මෙම ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ දෙමාපියන් වෙත ලැබෙන්නට සලස්වන අතර දරුවන්ගේ අධ්‍යාපන වියදම් වෙනුවෙන් එම මුදල් විශාල පිටිවහලක් බව ඔවුන්ගේ අදහස වේ.

    දිවයින පුරා ප්‍රධාන නගර 69ක පිහිටි සිය ශාඛාවන් හරහා නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලටත් බැංකු නොවන මූල්‍ය සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන CDB, ශක්තිමක් පාරිභෝගික සබඳතාවක් පවත්වා ගනිමින් වෙසෙසින්ම පාරිභෝගිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක වෙමින් සමස්ත රටේම ඉදිරි ගමනට සුවිශේෂී දායකත්වයක් සපයමින් සිටී.