සුපිරි වාසි බද්ද මේ පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණොත් මොකද වෙන්නෙ?

    June, 17, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබෙන සුපිරි වාසි බද්ද (Super Gain Tax), මන්දිර බද්ද (Mansion Tax) ඇතුළු බදු සඳහා වත්මන් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවහොත් ඒවා සඳහා ලබන පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගන්නා බවත් මේ නිසා මෙම බදුවල නෛතිකභාවයට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.

    මුදල් අමාත්‍යවරයා පැවසුවේ මෙම බදු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට (Order Paper) ඇතුළත් කර තිබුණත් ඒවා ඉදිරියට රැගෙන යාමට විපක්ෂය බාධා කරමින් සිටින බවයි.

    මෙම බදු වලින් අපේක්ෂා කළ ආදායම් රජයට තවමත් ලැබී නොමැතිව වුවත් නව රජය විසින් සියළු ගෙවීම් මේ වනවිට නිසි පරිදි සිදුකර ඇතැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

    වර්තමාන පාර්ලිමේන්තුවෙන් මෙම බදු යෝජනා සම්මත කර ගැනීමට නොහැකි වන්නේ නම් එළඹෙන පාර්ලිමේන්තුවෙන් මෙම යෝජනා සම්මත කරගන්නා නිසා එම බදුවල නෛතික භාවය එලෙසින්ම තිබෙනු ඇති බවත් දක්වා තිබෙන කාල වකවානු වලට අදාළව ඉදිරියේදී එම බදු අයකරනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කීය.

    සුපිරි වාසි බද්ද වැනි බදු පැනවෙන්නේ මෙරට සමාගම් 35 ක් වැනි ප්‍රමාණයකට පමණක් බවත් මෙරට සමාගම් 72,800 ක් පමණ තිබෙන බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    කෙසේවෙතත්, අතීතය සඳහා බදු අයකිරීමට යෝජනා කර තිබෙන සුපිරි වාසි බද්ද දැඩි විවේචනයට බඳුන්වී තිබෙන බදු යෝජනාවකි.

    රවී කරුණානායක මහතා සඳහන් කළේ මෙම බද්ද අයකරන්නේ එක් වරක් පමණක් බවයි.