සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා FCCISL කොමර්ෂල් බැංකුව සහ CH17වෙතින් ඩෙබිට් කාඩ්පතක්

    September, 15, 2017

    සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ටම පමණක් වෙන්වූ මාස්ටර්කාඞ් සන්නාමයෙන් යුතු සුවිශේෂී වූ ඩෙබිට් කාඞ් පතක් ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), කොමර්ෂල් බැංකුව සහ චැනල් 17 (CH17) එකතුව හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් විසින් මෙරට ආර්ථිකයට කරන දායකත්වය ඇගයීම සඳහායි.

    EMV චිප් තාක්ෂණයෙන් යුතු මෙම කාඞ්පත FCCISL විසින් තම සමාජිකයින්ට නිකුත් කරනු ලබයි. මෙමගින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවා, හාඞ්වෙයාර් අලෙවිසැල්, රෝහල්, අවන්හල් සහ වාහන නඩත්තු කිරීමේ සේවා ලබාගැනීමේදී සැලකිය යුතු වට්ටමක් හිමිකර ගැනීමේ අවස්ථාව කාඞ් හිමියන්ට ලැබේ.

    ශ‍්‍රී ලංකාවේ සුළු හා මාධ්‍යමපරිමාණ ව්‍යවසායක අංශයට වැඩිම ණය මුදලක් ලබා දී තිබෙන බැංකුව වන කොමර්ෂල් මෙම කාඞ්පත හඳුන්වාදීමේ බැංකු පාර්ශවකරුවා ලෙසින් කටයුතු කරයි. මෙම කාඞ් පත් හිමිකරුවන්ට FCCISL විසින් ලබාදෙන විශේෂ වට්ටම්වලට අමතරව කොමර්ෂල් බැංකුව සහ මාස්ටර්කාඞ් වෙතින් වසර පුරාම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන් මගින් ලබාදෙන ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

    ශ‍්‍රී ලංකාවේ ඩෙබිට් කාඞ් පත් අලෙවියේ වෙළඳ ප‍්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ඇඟලූම් අංශය, අමුතේ දළු සැපයුම් අංශයසහ පේ‍්‍රෂණ ලබන්නන් වෙනුවෙන් විශේෂීත කාඞ් පත් හඳුන්වාදී තිබේ.

    1973 වසරේදී ආරම්භ කළ ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය  ශ‍්‍රී ලංකාවේ තිබෙන විශාලතම සහ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත ව්‍යාපාරික ආයතනය වේ. සියළු දිස්ත‍්‍රික්ක සහ පළාත් නියෝජනය කරන පරිදි පුළුල්ව විහිදුණු සාමාජික ව්‍යුහයක් සහිත ව්‍යාපාරික ආයතනය වන්නේ මෙම සම්මේලනයයි.

    ව්‍යාපාරික සහ කර්මාන්ත කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික ආයතනයක් වන මෙමගින් උපදේශන, ප‍්‍රවර්ධන, තොරතුරු ලබාදීම ඇතුළු සේවා සම්පාදනය මගින් මෙරට ව්‍යාපාරික කටයුතු සංවර්ධනය කිරීමට දායක වේ.