සූදානම් වන්න! චීන ගඟ හැරවුණා

    September, 6, 2014

    මෙරට සංචාරක කර්මාන්තයේ වර්තමාන රැල්ලට අනුව අපි චීන්නුන්ට සත්කාරක සේවා සැපයීමට වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව කිසිදු විවාදයකින් තොරව කිව හැකිය.

    එයට හේතුවී තිබෙන්නේ මෙරටට එන සංචාරකයින්ගෙන් වැඩිපුරම වර්ධනයක් පෙන්නුම් කර තිබෙන රට චීනය වීමයි. 2013 අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ තිබුණේ චීන සංචාරකයින් 5951 කි. නමුත්, මේ අගෝස්තු මාසයේදී එම ප්‍රමාණය 14,274 ක් දක්වා අතිවිශාල ලෙස වර්ධනය වී තිබේ. මෙහි වර්ධනය සියයට 139.9 ක් තරම් දැවැන්ත අගයකි.

    තවත් විදිහකින් පවසන්නේ නම් ගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 ක කාලය තුළදී මෙරටට චීන සංචාරකයින් පැමිණ තිබුණේ 33,550 කි. එම ප්‍රමාණය මේ වසරේ මුල් මාස 08 තුළදී 81,682 ක් දක්වා සියයට 143.5 කින් වර්ධනය වී ඇත.

    රටක් ලෙස ගත්විට මේ වනවිට චීනය ලංකාවට සංචාරකයින් වැඩිපුරම පැමිණෙන තුන්වන රට දක්වා පෙරට පැමිණ තිබේ. ඉන්දියාව පළමු තැනද එංගලන්තය දෙවන තැනද තිබෙන අතර ප්‍රමාණය අතින් ගත්විට මෙම රටවල් තුනෙන් පැමිණෙන සංචාරකයින්ගේ වැඩි වෙනසක් නොමැත.

    මෙම වර්ධනයම තිබෙන්නේ නම් වැඩි කලක් යන්නට පෙර ලංකාව චීන සංචාරකයින්ගෙන් පිරීයන අතර ලංකාවට වැඩිපුරම සංචාරකයින් පැමිණෙන ගමනාන්තය චීනය වනු ඇත.

    අපේ ඉලක්කය

    ලෝක ආර්ථික බලවතා ලෙස නැගී සිටීමට චීනය ඉදිරියට ඇදෙමින් තිබෙන හෙයින් චීන මධ්‍යම පාන්තික ජනතාවගේ ආදායම් තත්ත්වය මේ වනවිට ඉහළ යමින් පවති.

    මේ නිසා, විදේශීය සංචාරයන්හි නිරත වන චීන්නුන්ගේ ප්‍රමාණය නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී.

    චීන ජාතිකයින්ගේ ආදායම් තත්ත්වය දියුණු වෙමින් තිබෙන නිසා ඔවුන් සංචාරක කටයුතු වලදී කරන වියදම්ද මේ වනවිට වර්ධනය වෙමින් පවතින බව කර්මාන්තයේ නියුතුවූවෝ පවසති.

    මෙවන් වාතාවරණයක් තුළ ලංකාවේ ඉලක්කය වී තිබෙන්නේ ඉදිරියේදී මෙරටට වැඩි වැඩියෙන් චීන සංචාරකයින් ගෙන්වා ගැනීමටයි.

    මේ අරමුණෙන් ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ම පසුගිය කාලයේදී ලංකාව සිදු කළේය.

    භාෂා දැනුමේ ප්‍රශ්නය

    චීන ජාතිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාව නොදන්නා නිසා ඔවුන්ට මෙරට සංචාරය කිරීමේදී වඩාත්ම ප්‍රශ්නයක් වන්නේ භාෂාවයි. මෙරට සංචාරක කර්මාන්තය තුළ චීන භාෂාව කතාකළ හැකි ප්‍රමාණය අල්පය.

    මේ නිසා, කෙටි කාලීන විසඳුමක් ලෙස චීන භාෂා පරිවර්තකයින් 20 දෙනෙකුගේ සේවය ලබාගැනීමට රජය අදහස් කර තිබුණත් මෙරට සංචාරක මගපෙන්වන්නන්ට චීන භාෂාව දිගුකාලීනව පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි.

    සමස්ත වර්ධනය

    රජයේ නිළ දත්ත වලට අනුව ගෙවුණු අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින්ගේ වර්ධනය 2013 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 13.8 ක්වී ඇත. මේ අනුව, ගිය අගෝස්තු මාසයේදී පමණක් මෙරටට පැමිණ තිබෙන සංචාරකයින්ගේ ප්‍රමාණය 140,319 කි.

    මේ වසරේ අගෝස්තු දක්වා මාස 08 ක කාල සීමාව තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 23.1 කින් වර්ධනය වී තිබෙන අතර සංචාරකයින් දස ලක්ෂ එක්දහස් හයසිය හතලිස් තුන් දෙනෙකු පැමිණ ඇත.