සෙංකඩගල ෆිනෑන්ස් හි ස්ථාවරත්වය වර්ධනය කරමින් FMO වෙතින් ඇ.ඩො. මිලියන 25 ක ණය ආයෝජනයක්

    July, 21, 2020

    සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය, නෙදර්ලන්තයේ Nederlandse Financierings - Maatschappij voor Ontwikkelingslanden (FMO) බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක පස් අවුරුදු හරිත ණය ආයෝජන පහසුකමක් ලබා ගත් බව පසුගියදා නිවේදනය කළේය. නෙදර්ලන්ත රජය සහ නෙදර්ලන්ත වාණිජ බැංකුවල සම හිමිකාරිත්වය දරමින් සංවර්ධන බැංකුවක් ලෙස ක‍්‍රියාත්මක වන FMO, ගෝලීය වශයෙන් ව්‍යවසායකයින් බලගැන්වීමේ කාර්යයේ ගාමක බලවේගයක් ලෙස කීර්තිමත් ඉතිහාසයක් හිමිකරගත් ආයතනයකි. එවැනි ආයතනයකින් සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී වෙත ආයෝජනය කරනු ලැබූ මෙම විසල් ආයෝජන කාර්යය, එහි ණය කළඹේ වර්ධනයට ඉමහත් පිටුවහලක් වනු ඇත. මෙය සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී හි සංවර්ධන මූල්‍ය ආයතන මඟින් ලබාගනු ලැබූ තුන්වන අන්තර්ජාතික මූල්‍ය ආයෝජනය වන අතර, මෙවැනි ආයෝජන කාර්යයන් තුලින් එම ආයතනය මෑතකාලීනව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පමණ ලබා ගැනීමට ද සමත්ව ඇත.

    මෙම නව ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී ප‍්‍රකාශකයෙකු සඳහන්කර සිටියේ, ”මේ ආයෝජන කාර්යය සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී හි මෙහෙයුම් හා මූල්‍ය ශක්තිය, ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වයට ඇති මනා වූ සාක්ෂියකි. අපගේ ආයතනය ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ (MSME) සේවාදායකයින් වෙනුවෙන් කල්බදු ක‍්‍රමයට අරමුදල් පහසුකම් ලබා දීමට කැපවී සිටින ආයතනයකි. මෙම FMO ආයෝජන කාර්යය මඟින්, අපගේ ගනුදෙනු කරුවන් හට පහසුවෙන් වාහනයක් මිලදී ගැනීමේදී පරිසර හිතකාමී තීරණයක් ගැනීමේ අවස්ථාව උදාකරදෙනු ඇත. විශේෂයෙන් දේශගුණික විපර්යාස සම්බන්ධ ගෝලීය ඉලක්ක සපුරා ගැනීමේදී දෙමුහුන් (Hybrid) හා විදුලි වාහනවල වැදගත්කම කිසිවිටෙක අවතක්සේරු කළ නොහැක. මෙහිදී ශ‍්‍රී ලංකාවේ රථ වාහන කාබන් විමෝචනය අඩු කිරීමේ කාර්යයේදී මෙම FMO ආයෝජනය නිසැකවම සුවිශේෂී කාර්යයක් කරනු ඇත.” ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ, ”COVID-19 වසංගත තත්ත්වයෙන් පසු වර්තමානය වන විට ගෝලීය හා දේශීය වශයෙන් නිර්මාණය වී ඇති ආර්ථික පසුබිම යටතේ වුවද FMO මෙම ආයෝජන කාර්යයේ නිරතවීම, එහි ස්ථාවර සංවර්ධන න්‍යාය පත‍්‍රය සම්බන්ධ හැඟවුම්කාරකයක් ද වේ. එසේම මේ හරහා සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය අපව දිරිගැන්වීමටද සමත් වුවා.”

    FMO හි මූල්‍ය ආයතන අධ්‍යක්ෂ Huib-Jan de Ruijter මහතා මෙසේ පැවසීය. ‘‘සෙංකඩගල ආයතනය අපගේ සේවාදායකයකු බවට පත්වීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ණය පහසුකමක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් අප සතුටට පත්වෙනවා. මෙම ණය පහසුකම සෙංකඩගල ආයතනයේ දෙමුහුන් හා විදුලි රථ වාහන සම්බන්ධ කල්බදු සේවා පහසුකම් වල වර්ධනයක් ඇතිකිරීමට දායකත්වයක් දක්වන අතරම, එමඟින් ශ‍්‍රී ලංකාවේ CO2 විමෝචනය අඩු කිරීමට ද දායකත්වයක් සැපයේ. තවද මෙම ණය මුදල් ප‍්‍රමාණයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් කාන්තා හිමිකාරිත්වය දරණ ව්‍යාපාර සඳහා ණය ලබාදීම වෙනුවෙන් කැපකර ඇත. එබැවින් සෙන්කඩගල සමඟ FMO ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය 13, 10 සහ 08 යන ගෝලීය තිරසාර ඉලක්ක යටතේ අන්තර්ගත දේශගුණික ක‍්‍රියාමාර්ග, රැුකියා උත්පාදනය මෙන්ම අසමානතාවයන් අඩු කිරීම වැනි කාර්යයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි.’’

    මෙම මූල්‍යකරණ පහසුකම ප‍්‍රකාශයට පත් කළ දා සිට මූල්‍ය විශ්ලේෂකයින් විසින් මෙම පහසුකමෙහි ප‍්‍රතිලාභ දෙආකාර බව විශ්ලේෂණය කර ඇත. එහිදී අභ්‍යන්තරිකව, වසරින් වසර ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති රථ වාහන සංඛ්‍යාව ක‍්‍රමිකව වර්ධනය වී ඇති බැවින්, සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී හි කල්බදු සේවා වැඩි දියුණු කිරීම මඟින් ආයතනික වෙළෙඳපොළ කොටස තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත. මෙය දේශීයව පුනර්ජනනීය බලශක්තියෙන් ධාවනය වන වාහන ලියාපදිංචි කිරීම සඳහා වන පරිසර තත්ත්වයන් සම්බන්ධයෙන්ද සැළකිළිමත්ව කළයුතු කාර්යයකි. බාහිර වශයෙන්, මෙම මූල්‍ය ක්‍ෂේත‍්‍රය තුල විදේශීය මූල්‍ය ආයතනයකින් මෙවැනි අති විශාල මුදල් ආයෝජන කාර්යයක් සිදුවීම තුලින් දේශීය මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමක්ද සිදුවේ.

    1968 වසරේදී මහනුවරදී ආරම්භ කරනු ලැබූ සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී සමාගම, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අදාළ විෂය පථයන් වලට අනුකූල අයුරින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය සමාගමක් වනවා මෙන්ම, අද වන විට ශාඛා 100 ක් ක‍්‍රියාත්මක කරනු ලබන විශාලතම බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් බවට පත්ව ඇත. තවද සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී, ශ‍්‍රී ලාංකීය ණය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සඳහා මූල්‍ය ගනුදෙනු පහසු කිරීමේ කාර්යය ඉහළ නැංවීමේ අරමුණින් ශ‍්‍රී ලාංකීය වත්කම් කළමනාකරණ සමාගමක් වන Candor Asset Management (CAM), මේ වසරේ මාර්තු මාසයේදී අත්පත් කරගනු ලැබීය.