සෙලාන් ටිකිරි මාසයේදී ළමා සෞඛ්‍යය නැංවීමේ අරමුණින් පොඞ්ඩන්ට ඩිජිටල් Fitness watch තෑගි

    October, 16, 2018

    ළමා ස්ථූලතාව සම්බන්ධයෙන් අප වටහාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ එය හුදෙක් දරුවාගේ පෙනුම සම්බන්ධ ගැටලූවක් හෝ දරුවා වැඩිවිය පැමිණෙන විට ඉබේම නැතීවී යන දෙයක් නොවන බවයි. ස්ථූල දරුවන් වයසින් වැඞීමේදීද එම ස්ථූලභාවය එලෙසම පැවතීමට වැඩි ඉඩක් පවතින අතර ඒ නිසාම ඔවුන්ට සෞඛ්‍ය ගැටලූ රැසක් ඇති වීමේ අවදානම ඇත. මේ වනවිට බොහෝ දරුවන්ට තම සෞඛ්‍ය ගැටලූ සඳහා වැඩිහිටියන් භාවිතා කරන ඖෂධ වර්ගම භාවිතා කිරීමට සිදුව ඇත.

    මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා දායක වීමක් වශයෙන් සෙලාන් බැංකුව ‘සෙලාන් ටිකිරි මාසය’ තුළදී ළමා සෞඛ්‍යය නැංවීමේ වැදගත්කම අවධාරණය කිරීමට පියවර ගෙන තිබේ. ස්ථූලතාව නිසා ඇතිවන ගැටලූ සහ නිරෝගීව සිටීමේ වැදගත්කම සම්බන්ධයෙන් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීම මෙහි අරමුණ වී ඇත.

    සෙලාන් බැංකුව ලෝක ළමා දිනය මුල් කර ගනිමින් ලෝක ළමා මාසය සමරන පස්වන වසර මෙයයි. ඊට සමගාමීව දරුවන් ක‍්‍රියාශීලී ජීවන රටාවක් වෙත ආකර්ෂණය කරවීම සඳහා, රු.2,500/- කට වැඩි තැන්පතු සහිත සෙලාන් ටිකිරි ගිණුම් හිමියන්ට අලංකාර ඩිජිටල් Fitness අත් ඔරලෝසුවක් පිරිනැමෙනු ඇත. එසේම ළමුන් සදහාම නිර්මාණය වූ ටිකිරි පොළ, ළමා බැංකු දින, චිත‍්‍ර තරග, ටිකිරි සැණකෙළි, මැජික් සංදර්ශන සහ තවත් ක‍්‍රියාකාරකම් රාශියක් ඔක්තෝබර් මාසය තුළ, දිවයින පුරා පිහිටි සෙලාන් බැංකු ශාඛාවල මූලිකත්වයෙන් සංවිධානය කෙරේ.

    ‘‘තාක්ෂණයේ දියුණුව සීග‍්‍ර වන විට දෛනික කටයුතු වඩාත් පහසු වනවා. නමුත් කායික ක‍්‍රියාකාරකම් අඩුවීම නිසා අලස බව, නිර්මාණශීලී භාවය හීන වීම සහ වෙනත් ලෙඩ රෝග උද්ගතවීමේ අවදානම ඉහළ යනවා. එනිසා නිරෝගී බවේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් දරුවන් සදහාම වෙන්වූ අපූරු වැඩසටහනක් සංවිධානය කිරීමට සෙලාන් බැංකුව සැලසුම් කොට තිබෙනවා. රට පුරා විසිරී සිටින සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන් සමගින් මෙම ක‍්‍රියාකාරකම් පෙළ සිදුකිරීමට නියමිතයි. අපේ රටේ අනාගත පරපුර උගත්, ක‍්‍රියාශීලී සහ රටට වැඩදායී පුරවැසියන් බවට පත්කිරීමට උර දීම ඉතා වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් අප මේ උරදී සිටින්නේ එම මෙහෙවරටයි.” සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප‍්‍රධානී ගමික ද සිල්වා මහතා පැවසීය.

    ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ළමා ඉතුරුම් ගිණුම ලෙස වසර 26 ක් පුරා පෙරමුණේ සිටින සෙලාන් ටිකිරි, මෙරට ප‍්‍රථම වරට ළමා දිනය නිමිත්තෙන් මාසයක් පුරා විවිධ ක‍්‍රියාකාරකම් සංවිධානය කරන වැඩසටහනක් ‘සෙලාන් ටිකිරි මාසය’ නමින් හඳුන්වා දීමට මූලිකත්වය ගෙන තිබේ. මෙය සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන්ට කිසිදා අමතක නොවන මතක රැසක් තිළිණ කරන වැඩසටහනක් බවට පත්වී ඇත.

    නව සෙලාන් ටිකිරි ගිණුමක් විවෘත කරන අවස්ථාවේදී හෝ පවතින සෙලාන් ටිකිරි ගිණුමට අලූතෙන් මුදල් තැන්පත් කරන අවස්ථාවකදී බයිසිකල්, දුරස්ථ පාලක හෙලිකොප්ටර්, ස්කූටර්, LED රූපවාහිනී, මග්, පාසල් බෑග්, වීඩියෝ ගේම්, DVD සෙට්අප්, ටැබ් වැනි අගනා ත්‍යාග රාශියක් පිරිනැමීමට ද සෙලාන් බැංකුව කටයුතු යොදා ඇත.

    ආරම්භයේ පටන්ම දරුවන් තුළ යහපත් ගුණාංග වර්ධනය කරවමින්, ඔවුන් නව ලොවට ගැළපෙන වැඩදායී පුරවැසියන් බවට පත්කිරීම සඳහා සෙලාන් බැංකුව විවිධ වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නංවා ඇති අතර ඉදිරියටත් එබඳු නිර්මාණශීලී වැඩසටහන් අඛණ්ඩව සංවිධානය කිරීමට බැංකුව අපේක්ෂා කරයි.