සෙලාන් බැංකුවෙන් මෙරට SOS ළමා ගම්මාන වෙත රු.මිලියනයක් සමග දරුවන්ට රැකියා පුහුණු අවස්ථා

    February, 8, 2019

    රටේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ දැනුම, ජීවන කුසලතා සහ ව්‍යවසායකත්ව කුසලතා පුබුදුවාලීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වෙත රු. මිලියනක් සමග රැකියා පුහුණු අවස්ථා පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. පිළියන්දල පිහිටි SOS ළමා ගම්මානයේදී පැවති උත්සවයකදී මෙම ප්‍රදානය නිල වශයෙන් සිදුකරන ලදි. 
     
    දෙමාපිය රැකවරණය අහිමි වී සිටින සහ එලෙස දෙමාපිය රැකවරණය අහිමි වීමේ අවදානමෙහි පසුවන දරුවන්ට රැකවරණය සැලසීමත්, පවුල්වලට තම දරුවන් රැකබලාගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාදීමත් SOS ළමා ගම්මාන වැඩසටහනේ මූලික අරමුණු වේ. සෙලාන් බැංකුව විසින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියනයක මුදල මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යෙදවෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ රැකවරණය ලබන, කුසලතා සහිත දරුවන් 6 දෙනෙකුට රැකියා පුහුණු අවස්ථා ලබාදීමටද සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙම දරුවන්ට අවශ්‍ය දැනුම හා පුහුණුව පුළුල් ලෙස ලබාදෙමින්, ඔවුන් මූල්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තිකයන් බවට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බැංකුව කටයුතු කරනු ඇත. 
    “ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනට මේ ආකාරයට අත්වැලක් වීමට ලැබීම අපට විශාල සතුටක්. ළමා ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරෝගාමී බැංකුවක් ලෙස අප වසර 30 කට අධික කාලයක් තිස්සේ දරුවන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා අත්වැලක් ලබා දී තිබෙනවා.
     
     දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා ඇති හොඳම මග ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම බව අපගේ විශ්වාසයයි. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස අප දිගින් දිගටම ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ දරුවන් වෙනුවෙන් රැකියා පුහුණු අවස්ථා ලබාදෙමින්, ලොවට වඩාත් යහපත් හෙට දවසක් උදාකරන ගමනේ නායකයන් බවට පත්වීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරනවා.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා පැවසී ය. 
     
    2018 වසරේ දෙසැම්බර් මාසයේදී, රු. මිලියනයක අරමුදලක් එක්රැස් කිරීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේ ය. ඒ යටතේ ගනුදෙනු කරුවන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් මගින් සිදුකරන ලද ගනුදෙනු වලින් කිසියම් ප්‍රතිශතයක් මෙම අරමුදල සඳහා බැර කරන ලද අතර, එලෙස එක්රැස් කරන ලද රු. මිලියන 1 ක මුදලක් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වෙත ප්‍රදානය කරන ලදි. 
     
    “අපගේ ළමා ගම්මානවල සිටින සෑම දරුවෙකුට නිසි අධ්‍යාපනයක් ලබාදෙන අතර ඔවුන්ගේ ජීවන කුසලතා නංවාලීම අපගේ ඉලක්කයයි. සෑම වසරකදීම දරුවන් 200ක් පමණ අපගේ රැකවරණය පතා පැමිණෙනවා. ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය හා රැකවරණය ලබාදීමට අපට හැකිවී තිබෙන්නේ සෙලාන් බැංකුව සහ අනෙකුත් සමාගම් හා ආයතන ලබාදෙන සහයෝගය නිසයි. පසුගිය වසර 37 තුළ මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වූවා. නමුත් ශ්‍රී ලංකාව දැන් ආසියාවේ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලැබන රටක් ලෙස වර්ගීකරණය වී ඇති නිසා, අපගේ ප්‍රධාන සංවිධානය මේ වනවිට අපට ලැබෙන ආධාර ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගනිමින් සිටිනවා. ඒ නිසා අපගේ සත්කාරය ඉදිරියට පවත්වාගෙන යාමට නම් අපට මෙරට ජනතාවගෙන් සහ සමාගම් හා ආයතන වලින් සහයෝගය හිමිවීම අත්‍යවශ්‍යයි.” ජාත්‍යන්තර SOS ළමා ගම්මාන වැඩසටහනේ සභාපති සිද්ධාර්ත් කාවුල් මහතා පැවසී ය.
     
    “ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන තුළ අධ්‍යාපනය ලබන දරුවන්ට වඩාත් හොඳ වෘත්තීය අවස්ථා උදාකර දීම සඳහා මේ ආකාරයට එම වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙම වැඩසටහනේ රැකවරණය ලැබූ බොහෝ දරුවන් මේ වනවිට ව්‍යාපාර ලොවේ ප්‍රමුඛ වෘත්තිකයන් බවට පත්වී සිටිනවා. වගකීම් සහගත සමාගමක් ලෙස, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ දරුවන් වෙත ලැබෙන අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් සඳහා දොරටු විවර කරදීම අපගේ ඉලක්කයයි.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ජයන්ත අමරසිංහ මහතා පැවසී ය.