සෙලාන් බැංකුවේ වාර්ෂික විකුණුම් සම්මාන උළෙලේදී විශිෂ්ටයන්ට සම්මාන

    March, 7, 2019

    සෙලාන් බැංකුවේ විකුණුම් අංශයේ වාර්ෂික සම්මන්ත්‍රණය සහ සම්මාන උළෙල පසුගියදා කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. 2018 වසර තුළදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ, විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි. මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. පුද්ගලික ණය අංශයේ චාමික පෙරේරා සහ නිවාස ණය අංශයේ කර්බි ඉමංක විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සම්මාන ලැබූහ.  ක්‍රෙඩිට් කාඞ්පත් විකුණුම් ශේෂ බැරකිරීම් වෙනුවෙන් අංජුල ඩිල්ශාන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ක්‍රෙඩිට් කාඞ් විකුණුම් වෙනුවෙන් සම්මානය හිමිවූයේ ජානක හේරත් වෙත ය. ලීසිං විකුණුම් අංශයේ විශිෂ්ටයා ලෙස සම්මාන දිනාගන්නා ලද්දේ ලොශාන් ජයසේකර විසිනි. 
     
    “සෙලාන් බැංකුවේ අලෙවි අංශය කවදත් වෘත්තීය ආචාර ධර්ම අකුරට පිළිපදින අංශයක්. බැංකුවේ පොදු අරමුණු වලට සමගාමීව ඉදිරියට යමින් අපගේ ඉලක්ක ළඟා කරගැනීමට අප සෑම විටම කටයුතු කරනවා. මේ සම්මාන උළෙල පවත්වන්නේ අප බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ට දක්ෂතා දක්වන සාමාජික සාමාජිකාවන් ඇගයීමටයි. මේ තරුණ තරුණියන්ගේ දක්ෂතා ගැන මා බෙහෙවින් සතුටු වනවා. 
    ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා කැපවීම කොතෙක්ද යන්නට මේ සම්මාන හොඳ සාක්ෂියක්. අපගේ විකුණුම් කණ්ඩායම් ස්ථාපිත කෙරුණේ මීට අවුරුදු 2 කට පෙරයි. මෙතරම් කෙටි කාලයක් තුළ ඔවුන් පෙන්නුම් කර ඇති ප්‍රගතිය ගැන අපට ආඩම්බර වන්නට පුළුවන්. දක්ෂයන් ඇගයීමට මෙන්ම, බැංකුකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, තම හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට කාර්ය මණ්ඩලය පොළඹවන වාතාවරණයක් නිර්මාණය කරන අගනා අවස්ථාවක් ලෙස මෙම සම්මාන උළෙල පෙන්වා දීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා පැවසී ය. 
     
    මෙම සම්මාන උළෙලේදී සහරාන් අමීර් පුද්ගලික ණය විකුණුම් කාණ්ඩය යටතේ විශිෂ්ටම කණ්ඩායම් නායකයා ලෙස සම්මාන දිනූ අතර, ක්‍රෙඩිට් කාඞ් විකුණුම් සහ ක්‍රෙඩිට් කාඞ් ශේෂ බැරකිරීම් අංශ සඳහා එම සම්මානය හිමිවූයේ සුරංග පෙරේරා වෙත ය. නිවාස ණය කාණ්ඩය වෙත දක්වන ලද දායකත්වය වෙනුවෙන් මාලන් කැබැන්දුගම වෙත විශේෂ සම්මානයක් පිරිනැමිණි. 
     
    සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය වූ, 2018 වසරේ විශිෂ්ටතම කණ්ඩායම් නායක සම්මානය දිනාගැනීමට ක්‍රෙඩිට් කාඞ් විකුණුම් අංශයේ සුරංග පෙරේරා සමත් වූ අතර, සමස්තයක් ලෙස අලෙවි අංශයේ විශිෂ්ටතම සාමාජිකයා ලෙස සම්මාන දිනාගැනීමට පුද්ගලික ණය අංශයේ චාමික පෙරේරා සමත් විය. 
     
    ඡායාරූපය: සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා (මැද), අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා (වමේ), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා (මැද) සමග නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවා) ඩෙල්වින් පෙරේරා මහතා, ප්‍රධාන කළමනාකරු (පාරිභෝගික ණය) ඉයුජීන් සෙනෙවිරත්න මහතා සහ ලීසිං සේවා ප්‍රධානී දිලුම් අමරසිංහ මහතා සම්මානලාභීන් සමග