සෙලාන් බැංකුවේ 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විවෘත වේ

    September, 16, 2026

    සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුව ‘පැහැසර පුස්තකාල 300 සන්ධිස්ථානය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.  

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර, සෙලාන් බැංකුවේ කලාප කළමනාකාරිනී (බස්නාහිර) චමිලා විතාන, රන්පොකුණුගම මහා විද්‍යාලයේ විදුහල්පති බී. එස්. එස්. ප්‍රේමරත්න, එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එස්. ඒ. පී. පී. සුභසිංහ, සෙලාන් බැංකුවේ අලෙවි කළමනාකරු (සන්නාම) ජී. විසාකන් සහ සෙලාන් බැංකුවේ රන්පොකුණුගම ශාඛා කළමනාකරු තරිඳු සිල්වා යන මහත්වරුන් මෙන්ම දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    මෙම මෙහෙවර යටතේ සෙලාන් බැංකුව විසින් පාසලේ පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව සිසුන්ගේ පරිහරණය සඳහා ලැප්ටොප් පරිගණක දෙකක්, ප්‍රක්ෂේපණ තිරයක් සහිත බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia Projector) සහ පොත්පත් තොගයක්ද පරිත්‍යාග කරන ලදි.

    මෙම පුස්තකාලය විවෘත කිරීමට සමගාමීව, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මාණශීලීත්වය, නායකත්ව හැකියාවන් සහ සමාජයීය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ‘පැහැසර සතිය නමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි. ඊට 10 ශ්‍රේණියේ සිසුන් සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්ද ඇතුළත් වූ අතර, එමඟින් කුඩා කල සිටම දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ වගකීම් සහගත මූල්‍ය පුරුදු ඇති කරගැනීමට වැදගත් වන දැනුම ඔවුන් වෙත ලබාදෙන ලදි. එමෙන්ම සිසුන්ගේ අධ්‍යාපන ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් වන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඔවුන් හොඳින් සූදානම් කරවීමේ අරමුණින් විශේෂ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්ද පැවැත්විණි.

    තවද සාහිත්‍යකරණය සඳහා සිසුන් දිරිගැන්වීමේ අරමුණින්, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් රචිත ගද්‍ය පදය නිර්මාණ ඇතුළත් සඟරාවක්ද එළිදක්වන ලදි. එහිදී විශිෂ්ටතම නිර්මාණ ඉදිරිපත් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකුට සෙලාන් බැංකුව වෙතින් වටිනා ත්‍යාග හිමි විය.

    පැහැසර සතිය වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස සංවිධානය කළ වයස අවුරුදු 16 න් පහළ වොලිබෝල් තරගාවලිය සඳහා රන්පොකුණගම මහා විද්‍යාලය, වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලය සහ වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය යන පාසල්වල වොලිබෝල් කණ්ඩායම් සහභාගී වූහ. කණ්ඩායම් හැඟීම, ක්‍රීඩාශීලීත්වය සහ අසල්වැසි පාසල් අතර බැඳීම ශක්තිමත් කළ මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය සමත් වූ අතර අතර, තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනාට සහතිකපත් පිරිනමන ලදි.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා මෙසේ පැවසීය: “අධ්‍යාපනය යනු ජීවිත වඩාත් යහපත් කරන බලවත් පරිවර්තනීය මෙවලමක්. පැහැසර වැඩසටහන හරහා අප මේ උත්සාහ කරන්නේ, සිසුන්ගේ අධ්‍යාපන පහසුකම් මෙන්ම මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම  ඔස්සේ රටේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමටයි. මේ ආකාරයට 293 වන පැහැසර පුස්තකාලය විවෘත කිරීම, රට පුරා පුස්තකාල 300 ක් ස්ථාපිත කිරීම සහ ඒ ඔස්සේ ප්‍රජාවන්ට දීර්ඝකාලීන යහපතක් සිදුකිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

    දශක තුනකට වැඩි කාලයක් පුරා, අධ්‍යාපනය, තරුණ පරපුර සවිබල ගැන්වීම සහ මූල්‍ය සාක්ෂරතාව කේන්ද්‍ර කරගත් වැඩසටහන් හරහා අර්ථවත් සහ තිරසාර ප්‍රජා සංවර්ධනයක් ඇති කිරීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබේ. බැංකුවේ ප්‍රමුඛතම සමාජ තිරසාරත්ව වැඩසටහනක් වන ‘පැහැසර’ වැඩසටහන, පාසල් පුස්තකාලවල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, පාසල්වලට අත්‍යවශ්‍ය අධ්‍යාපනික පහසුකම් ලබාදීම සහ රට පුරා විසිරී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම හැකියාවන්ගේ උපරිමය ළඟා කරගැනීමට අත්වැලක් වීම යන අරමුණු මූලික කරගෙන ක්‍රියාත්මක වන සුවිශේෂී සමාජ මෙහෙවරකි.