සෙලාන් බැංකුව ඩිජිටල් පරිණාමනය හරහා සිය ව්‍යාපාරික වර්ධනය තහවුරු කර ගනී

    April, 8, 2019

    කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක්වන VMware, Inc. (NYSE: VMW) සමාගම සිය VMware vSAN Hyperconverged Infrastructure (HCI) සහ VMware vRealize Operations Manager යටිතල පහසුකම් භාවිතයට ගන්නා මෙරට ප්‍රථම ආයතනය බවට සෙලාන් බැංකුව පත්වූ බව පසුගියදා නිවේදනය කළේය. VMware සමාගමේ නම්‍යශීලි සහ වඩාත් ආරක්‍ෂිත තාක්ෂණික විසඳුම් හරහා සෙලාන් බැංකුවේ කටයුතු කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකිවන බව ද එම බැංකුව සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) සහ පාරිභෝගිකයන් සඳහා ලබාදෙන සේවා තවත් පුළුල් කිරීමේ අවස්ථාව උදාවන බව ද එම සමාගම පවසයි.

    VMware සමාගමේ vSAN HCI යටිතල පහසුකම් හරහා ශීඝ්‍රයෙන් වර්ධනයවන ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවට වඩාත් කඩිනම් සබඳතාවක් හරහා සේවය ලබාදීමට හැකිවන බව සෙලාන් බැංකුව සඳහන් කළේය. 2012 වසරේ සිට 2017 දක්වා වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය 8% සිට 21% දක්වා දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර ඉදිරි වසර පහ තුළ එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය වනු ඇත. කීර්තිමත් පද්ධති ඒකාබද්ධකරණ සහ ආයතනික මට්ටමේ හවුල්කරුවෙකු වන Softlogic Information Technologies සමාගමේ සහයෝගයෙන් යුතුව සෙලාන් බැංකුව vSAN VMware සමාගමේ HCI සහ vRealize Operations Manager විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. පොදු මෙහෙයුම් පරිසරයක යෙදවුම් ක්‍රියාවේ යෙදවීමටත්, එම යෙදවුම් සම්බන්ධ කිරීමත්, ආරක්ෂාව සහතික කිරීමත් මෙම විසඳුම් ස්ථාපනය කිරීමේ මූලික අරමුණු විය.

    VMware විසඳුම් දියත් කිරීමට පෙර බැංකුවට සම්ප්‍රදායික සර්වර් සහ දත්ත ගබඩාකරණ පහසුකම් මත යැපීමට සිදුවිය. කලින් පැවති පද්ධතිය තුළ පද්ධති යාවත්කාලීන වීම සඳහා වැඩි කාලයක් ගතවූ බැවින් තොරතුරු තාක්ෂණ අංශයේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ඵලදායීතාව සහ සර්වර් ප්‍රතිපාදන වේගය අඩාල විය.
    මින්පෙර දෘඩාංග මත පදනම්වූ මෘදුකාංග හරහා පද්ධති ක්‍රියාත්මක වූ අතර මුළුමනින් ම මෘදුකාංග මත ම පදනම් වූ යටිතල පහසුකම හරහා පද්ධති බිඳවැටීම්වලින් තොරව යෙදවුම් වල සුලබතාව 90%කින් වර්ධනය කර ගැනීමට හැකිවේ. තවද තාත්වික යන්ත්‍රෝපකරණ ප්‍රතිපාදන භාවිත කෙරෙන බැවින් පරිගණක සහ සිසිල්කරණය සඳහා වැය කෙරුණු බලශක්ති පිරිවැය කැපීපෙනෙන ලෙස අඩුකර ගැනීමට ද හැකිවේ. තව ද, මින් පෙර පැවති පද්ධතියට වඩා අවම වශයෙන් පස් ගුණයක උසස් පද්ධති කාර්යසාධනයක් අත්කර ගැනීමට ද බැංකුවට හැකිවී ඇත. සර්වර් දෘශ්‍යකරණය හරහා භෞතික ඉඩකඩ භාවිතය අවම කර ගැනීමට ද බැංකුවට හැකිවී ඇත.

    "බැංකුකරණ ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් දියුණු සබඳතා සහ සේවා මට්ටමකට ළඟා වෙමින් සිටින බැවින් නව පාරිභෝගිකයන් සම්බන්ධ කර ගැනීමටත්, ඔවුන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමටත්, ඔවුන්ගේ ළෙන්ගතුබව තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අපගේ ඩිජිටල් ශක්‍යතාව ශක්තිමත් කර ගැනීම අතිශය වැදගත් වනවා. VMware Hyper-Converged Infrastructure විසඳුම් හුදු තොරතුරු තාක්ෂණ විසඳුමක් පමණක් නොවේ. එමගින් අපට අපගේ ව්‍යාපාරික ඉලක්ක වෙත ළඟා වෙමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුල්‍ය ආයතනය බවට පත්වීම සඳහා වන අපගේ දැක්ම සපුරා ගැනීමට ද අවස්ථාව උදා වනවා" යනුවෙන් සෙලාන් බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී හර්ෂ වනිගතුංග මහතා සඳහන් කළේය.

    VMware සමාගමේ SEAK අංශයේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සන්ජේ කේ. දේශ්මුක් මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකේය බැංකුකරණ අංශය තුළ දැවැන්ත ඉදිරි ගමනක් පවතින බවත්, ඒ සඳහා මෙරට මුල්‍ය ආයතන නිවැරදි ජාලගතකරණ පදනමක් හරහා වේගවත් නවෝත්පාදන ගමනකට එළඹිය යුතු බවත්ය. "සෙලාන් බැංකුව මේ සම්බන්ධව පූර්වාදර්ශයක් බවට පත්ව ඇති අතර සිය කටයුතු ඩිජිටල්කරණය කිරීමේ ලා එම බැංකුව අත්පත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා"

    සෙලාන් බැංකුව මේ සඳහා ආයෝජනය කිරීමට පෙර සියලු විකල්ප දැඩි පරීක්ෂාවෙන් යුතුව ඇගයුමට ලක් කළ බවත්, ඉදිරි ගමන සඳහා මාර්ගය මෙම නව මෘදුකාංගය බව ඔවුන් විශ්වාසයෙන් යුතුව හඳුනා ගත් බවත් Softlogic Information Technologies සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ සිදන්ත පීරිස් මහතා අදහස් පළ කළේය. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික ක්‍රමවේද දියත් කිරීම සඳහා සෙලාන් බැංකුව කෙතරම් විනිවද භාවයෙන් සහ විවෘතව කටයුතු කළේ ද යන්න පිළිබඳව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මෘදුකාංග යටිතල පහසුකම් දියත් කිරීම සඳහා Softlogic Information Technologies සමාගම තෝරා ගැනීම පිළිබඳ ඒ මහතා සෙලාන් බැංකුවට සිය කෘතඥතාව පළ කළේය.