සෙලාන් බැංකුව බැංකු ක්ෂේත්‍රයේ පළමු වතාවට 100% ක බෝනස් පොලියක් හඳුන්වා දෙයි

    November, 30, 2018

    ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පළමු වතාවට 100% ක බෝනස් පොලියක් හඳුන්වා දීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබේ. තවත් ප්‍රතිලාභ රැසක්ද මෙම දීමනාව සමගින් ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත්තේ සිය 30 වැනි සංවත්සරය වෙනුවෙනි.

    කෙනෙකු මුදල් ඉතිරි කරනුයේ තම ජීවිතයේ දුෂ්කර අවස්ථා වලදී සහනයක් ලබාගැනීමේ අරමුණෙනි. එහිදී කෙනෙකුට ඉතුරුම් හරහා අතිරේක අදායමක් හෝ පොලියක් ලැබෙන්නේ නම් එය දිවි ගමනට දිරියක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    නව ප්‍රවර්ධන වැඩසටහන මගින් සෙලාන් ඉතුරුම් ගිණුම් හිමියන්ට 2018 ඔක්තෝබර් 01 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා මාස 3 ක කාලයක් 100% ක බෝනස් පොලියක් හිමිවනු ඇත. මේ සඳහා ඔවුන් කළ යුතු වන්නේ තම ඉතුරුම් ගිණුමේ වැඩි වැඩියෙන් මුදල් තැන්පත් කිරීම හෝ නව ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම පමණි. තවද මේ සඳහා අවම ශේෂයක් පවත්වා ගැනීම හෝ උපරිම තැන්පතු සීමාවක් පවත්වා ගැනීම අවශ්‍ය නොවන අතර ගිණුම් හිමියන්ට ‘සෙලාන් ෂුවර්’ ප්‍රතිලාභ ක්‍රමය යටතේ ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා වලදී ප්‍රතිලාභ හිමිකර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

    100% බෝනස් පොලී වැඩසටහනට අමතරව තම ඉතුරුම් ගිණුම්වල මාස 12 කට වැඩි කාලයක් රු. 20,000/- කට වැඩි ශේෂයක් පවත්වා ගන්නා ගිණුම් හිමියෝ ‘සෙලාන් ෂුවර්’ ප්‍රතිලාභ ක්‍රමයට සුදුසුකම් ලබති. එහිදී ඔවුන්ට සිය ගිණුම් ශේෂය අනුව විවාහයකදී, දරු උපතකදී, දසවන විවාහ සංවත්සරයකදී, 60 වන උපන්දින සැමරුමකදී, ශිෂ්‍යත්ව හෝ අධ්‍යාපනික ජයග්‍රහණ වැනි දිවි ගමන ආලෝකමත් කරවන අවස්ථාවන්වලදී රු. 50,000/- ක් දක්වා මුදල් ප්‍රතිලාභ හිමිවන අතර සැත්කමකදී රු. 200,000/- දක්වා වැය වූ මුදල් ප්‍රතිපූරණයක් හිමි වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකු සේවා) ටිලාන් විජයසේකර මහතා මෙසේ පැවසී ය. “සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස අප සෑම විටම උත්සාහ කරන්නේ ජනතාවට සිය ජීවිතයේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගැනීමට උපකාරී වන හොඳම බැංකු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීමටයි. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස අපගේ 30 වන සංවත්සරය වෙනුවෙන් 100% ක බෝනස් පොලී දීමනාවක් හඳුන්වා දීමට අප කටයුතු කළා. මෙය ඔවුන්ට තමන් දකින ඇතැම් සිහින යථාර්ථයක් බවට පත්කරගැනීමට මහඟු අත්වැලක් වේවි. මෙම දීමනාවේ තවත් අරමුණක් වන්නේ ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් ප්‍රචලිත කරවීමයි. විශේෂයෙන්ම මුල්ම වරට වැටුප් ලබන පුද්ගලයන් සහ ස්වයං රැකියා වල නියුතු වූවන් වැනි, සුළු හා මධ්‍ය පරිමාණයේ ඉතිරි කරන්නන් අතර මෙය ජනප්‍රිය වේවි කියා අප විශ්වාස කරනවා. ඉතිරි කිරීම යනු ඔවුන්ගේ ජීවිතයට ශක්තිමත් මූල්‍ය පදනමක් සකස් කර දෙන පුරුද්දක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.”

    දීමනාව වලංගු වන කාලය තුළදී සෙලාන් සාමාන්‍ය ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන් කැමති ආකාරයකට මුදල් ආපසු ලබාගත හැකි අතර, දවසේ අවසන් ශේෂය අනුව දෛනිකව පොලිය ගණනය කර මාසිකව ගිණුමට බැර කෙරේ.

    මීට අමතරව සෙලාන් බැංකුව විසින් සිය ඉතුරුම් ගිණුම් හිමියන්ට අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකුකරණ සේවාවන් හරහා දවසේ ඕනෑම වේලාවක, කැමති ස්ථානයක සිට බැංකු සේවාවන් සිදු කර ගැනීමේ පහසුව ද ලබා දී ඇත.