සෙලාන් බැංකුව සහ Cinnamon Nature Trails එක් වී සෙලාන් කාඩ්පත් හිමියන් වෙනුවෙන් ‘Jewels Beneath the Waves’ නමින් දිය යට ඡායාරූප ප්‍රදර්ශනයක් සහ සංවාදමය වැඩසටහනක් පවත්වයි

    September, 23, 2026

    සෙලාන් බැංකුව පසුගියදා Cinnamon Life at City of Dreams Sri Lanka සහ Cinnamon Nature Trails සමඟ එක් වී ‘Jewels Beneath the Waves’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. මෙය සෙලාන් කාඩ්පත් හිමියන්ට වනජීවී ඡායාරූපකරණයේ නිර්මාණශීලී ඇස තුළින් නොදුටු ලෝකයක් සිත් සේ දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය.

    Cinnamon Nature Trails හි ‘Top Experts in the City’ වැඩසටහන් මාලාවේ නවතම අදියර වූ මෙය, ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන එරික් ගෝ (Eric Goh) සහ, ඡායාරූප ශිල්පියෙකු මෙන්ම Cinnamon Nature Trails හි උප සභාපති වන චිත්‍රාල් ජයතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු 29 වැනි සෙනසුරාදා දින Cinnamon Life at City of Dreams Sri Lanka හි 23 වැනි මහලේ පිහිටි Cumulus හිදී පැවැත්විණි.

    සෙලාන් බැංකුවේ Private Banking සාමාජිකයන් වෙනුවෙන් විශේෂයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී, වනජීවී ඡායාරූපකරණයේ ප්‍රවීණයන් දෙදෙනෙකුගේ දෘෂ්ටිකෝණ ඔස්සේ වටිනා තොරතුරු රැසක් දැනගැනීමට වැඩසටහන සහභාගී වූවන්ට අවස්ථාව උදා විය. ජාත්‍යන්තර ඡායාරූප ශිල්පී එරික් ගෝ මෙහිදී තම චාරිකාවල අත්දැකීම් බෙදාගනිමින්, දිය යට අභිරහස් ලෝකය පිළිබඳ වටිනා කරුණු රැසක් ඉදිරිපත් කළේය. එමෙන්ම මෙහිදී චිත්‍රාල් ජයතිලකගේ ඡායාරූප එකතුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර, ඔහුගේ කණ්ඩායමේ වනජීවී ගවේෂණ හා චාරිකා පිළිබඳ අපූර්ව තොරතුරු රැසක්ද ඉදිරිපත් කරන ලදි. තවද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සොබාදහම මූලික කරගත් සංචාරක වැඩසටහන් කිහිපයක් පිළිබඳව, මෙතෙක් හෙළි නොකරන ලද වැදගත් තොරතුරු රැසක්ද මෙහිදී අනාවරණය කෙරිණි.

    දිය යට ලෝකයේ අභිරහස් මෙන්ම එහි විවිධත්වය හා සුන්දරත්වය මැනැවින් පෙන්වා දුන් ‘Jewels Beneath the Waves’ වැඩසටහන, වනජීවී හා ඡායාරූපකරණ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකම වේදිකාවකට කැඳවන වැඩසටහන් මාලාවක තවත් සාර්ථක පියවරක් විය. මෙම අවස්ථාවට සහභාගි වූවන්ට විශිෂ්ට ඡායාරූප නැරඹීමට මෙන්ම, ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුගේ අදහස්වලට සවන්දෙමින් ස්වභාවධර්මය ඡායාරූපයට නැගීම සම්බන්ධ ආස්වාදනීය හා ඵලදායී සංවාදයකට දායක වීමට අවස්ථාව ලැබිණි.

    දිය යට ඡායාරූපකරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහ වසර 20 කට අධික පළපුරුද්දක් එරික් ගෝ සතුය. ලොව විවිධ සාගර පරිසර පද්ධති ගවේෂණය කරමින් ඔහු ලබාගත් ඡායාරූප, ජාත්‍යන්තර සඟරා, පුවත්පත්, ග්‍රන්ථ සහ ප්‍රචාරණ වැඩසටහන් රැසක පළ වී තිබේ.

    Royal Foundation හි සහාය ඇතිව ප්‍රකාශයට පත් කරන ලද ‘Terengganu Islands and State Parks’ ග්‍රන්ථයේ කතුවරයාද වන එරික් ගෝ ගේ නිර්මාණ ප්‍රධාන පෙළේ සංචාරක සහ පාරිසරික වැඩසටහන් සඳහාද භාවිතා වී ඇත. තවද, මැලේසියාවේ විශාලතම ඡායාරූප තරග අතරින් එකක් වන Sultan Mizan International Photography Awards (SMIPA) හි සභාපතිවරයා සහ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කරයි.

    සිය කාඩ්පත් හිමියන්ගේ ජීවන රටාවන්ට සැබැවින්ම වැදගත් සහ අදාළ වන සුවිශේෂී අත්දැකීම් පිරිනැමීමට සෙලාන් බැංකුව සෑමවිටම උත්සාහ දරයි. සෙලාන් කාඩ්පත් සම්බන්ධ ප්‍රධාන තේමාපාඨයක් වන ‘The Essential Card for Your Heartfelt Essentials’ යන්න තුළින් හැඟවෙනුයේ එම දැක්මය. මෙම දැක්ම තුළින් පන්නරය ලැබූ ‘Jewels Beneath the Waves’ වැඩසටහන, Visa Infinite, Visa Signature සහ World Mastercard කාඩ්පත් හිමි සෙලාන් බැංකුවේ Private Banking ගනුදෙනුකරුවන්ට ස්වභාවධර්මයේ අපූර්වතම පැතිකඩක සොඳුරු රහස් ගවේෂණය කිරීම සඳහා ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

    ඉදිරියටත් සාම්ප්‍රදායික බැංකුකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින්, Cinnamon Hotels & Resorts සහ Cinnamon Nature Trails සමඟ පවත්වාගෙන යන සහයෝගීත්වය ඔස්සේ මෙවැනි සුවිශේෂී වැඩසටහන් සංවිධානය කරමින්, සිය ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන් සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.

    එමෙන්ම මෙම හවුල්කාරීත්වය, වනජීවී ලෝලීන්ට එකට එක් වී ඵලදායී සංවාද ගොඩනංවා ගැනීමට අවකාශ සලසන අර්ථවත් වේදිකාවන් නිර්මාණය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන ප්‍රයත්නයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන්නක් ලෙසද හැඳින්විය හැකි වේ.