සෙලාන් බැංකුව 2020 SLIM NASCO සම්මාන උළෙලේදී බුහුමන් රැසකින් පිදුම් ලබයි

    April, 26, 2022

    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරන ලද 2020 National Sales Congress (SLIM NASCO) සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලත් සිය විකුණුම් බලකායේ දක්ෂයින් ඇගයීමට සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව කටයුතු කළේය. සෙලාන් විකුණුම් බලකාය මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන පහක් දිනාගැනීමට සමත්විය.

    ශ්‍රී ලංකාවේ විකුණුම් වෘත්තිකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කරන මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 21 වැනි වරට ය. SLIM NASCO සම්මාන මෙරට විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට හිමිවන ඉහළම මට්ටමේ ගෞරවයක් ලෙස සැලකේ. තව ද මෙරට විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ඔවුන්ගේ වෘත්තීය ජීවිත තුළ ඉදිරි පිම්ම සඳහා සූදානම් කිරීම ද මෙම සම්මාන උළෙලේ අරමුණකි.

    “මේ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් මා අපගේ විකුණුම් කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ට සුබ පතනවා. ඔවුන් ක්‍රමානුකූලව දියුණුව කරා යන ආකාරය මා බලා සිටියේ ඉමහත් ආඩම්බරයෙන්. ඔවුන්ට තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවස්ථා හිමිවන පරිසරයක් ආයතනය තුළ පවත්වාගෙන යාමට හැකිවීම ගැන මා බෙහෙවින් සතුටු වනවා. මෙය ඔවුන්ගේ උනන්දුවේ හා කැපවීමේ අතුරු ඵලයක් පමණයි. මේ සාර්ථකත්වය ඔස්සේ ඔවුන් සියලු දෙනාම අනාගතයේදී ව්‍යාපාර ලෝකයේ කැපීපෙනෙන නායකයන් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ.” සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසී ය.

    සෙලාන් බැංකුව තුළ පවත්වාගෙන යනු ලබන විකිණුම් ක්ෂේත්‍ර සම්ප්‍රදාය තුළදී විකිණුම් ප්‍රතිඵලවලට වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබාදී ඇත්තේ ස්වකීය දියුණුව ළඟා කරගැනීම සඳහා කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙනි. පසුගිය වසර කිහිපය තුළ SLIM NASCO සම්මාන 19ක් දිනාගැනීමට සෙලාන් බැංකුවේ විකිණුම් කණ්ඩායම සමත් වීම මගින් ද ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටතම විකිණුම් කණ්ඩායමක් නිර්මාණය කිරීමට සෙලාන් බැංකුව සමත් වී ඇති බව පෙනී යයි.  

    සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ සියලු දෙනාටම විශිෂ්ට සේවාවක් ලබාදීමටයි. එම උත්සාහය තුළදී ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින්, අපගේ සේවා ඔවුන් වෙතටම රැගෙන යාමට අපගේ විකිණුම් කණ්ඩායම කටයුතු කරනවා. මෙම සම්මාන බුහුමන් අපට හිමි වූයේ එම කණ්ඩායමේ දක්ෂතාව හා කැපවීම නිසයි. ඔවුන්ගේ ජයග්‍රහණ මෙලෙස ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. එමෙන්ම කෙනෙකු තම වෘත්තීය ජීවිතය සඳහා බැංකු ක්ෂේත්‍රයේ විකිණුම් අංශය තෝරාගැනීම කෙතරම් ඵලදායීද යන්න මෙවැනි සම්මාන මගින් පැහැදිලිවනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකිණුම් හා අලෙවි) ගාමික ද සිල්වා මහතා පැවසී ය.

    මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විකිණුම් කළමනාකරු කාණ්ඩයේ රිදී සම්මානය සෙලාන් බැංකුවේ බී. ජී. චින්තක ප්‍රනාන්දු වෙත හිමි වූ අතර, ප්‍රාදේශීය කළමනාකරුවන්වන මාලන් කබඳුගම සහ එම්. ඉසෙඩ්. අමීර් අදාළ කාණ්ඩයේ පිළිවෙළින් රිදී සහ ලෝකඩ සම්මාන හිමිකර ගත්හ. ආර්. ඩබ්ලිව්. එම්. දුෂාන්ත අබේකෝන් සහ මාලින්ද ලියනගේ විකිණුම් අධීක්ෂක කාණ්ඩයේ ලෝකඩ සම්මාන හිමිකරගත් අතර, විකිණුම් විධායක කාණ්ඩයේ රන් සම්මානය ශිරාන් හෙට්ටිආරච්චි වෙතද, ලෝකඩ සම්මානය හිමංස රුක්ෂාන් ප්‍රේමතිලක වෙත හිමි විය. චතුරිකා ප්‍රනාන්දු විසින් ඉදිරි පෙළ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගන්නා ලදි.

     

    ඡායාරූපය (වමේ සිට): ජාතික විකිණුම් කළමනාකරු කාණ්ඩයේ සම්මානලාභී බී. ජී. චින්තක ප්‍රනාන්දු, ප්‍රාදේශීය කළමනාකරු  කාණ්ඩයේ සම්මානලාභී මාලන් කබඳුගම, විකිණුම් අධීක්ෂක කාණ්ඩයේ සම්මානලාභී ආර්. ඩබ්ලිව්. එම්. දුශාන්ත අබේකෝන්, සෘජු විකිණුම් ඒකකයේ ප්‍රධානී මාක් ටේලර්, සහකාර සාමාන්‍යාධිකාරී (විකිණුම් හා අලෙවි) ගමික ද සිල්වා, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, විකිණුම් විධායක කාණ්ඩයේ සම්මානලාභී ශිරාන් හෙට්ටිආරච්චි, විකිණුම් විධායක කාණ්ඩයේ සම්මානලාභී හිමංස රුක්ෂාන් ප්‍රේමතිලක, ඉදිරිපෙළ කාණ්ඩයේ සම්මානලාභී චතුරිකා ප්‍රනාන්දු, ප්‍රාදේශීය කළමනාකරු කාණ්ඩයේ සම්මානලාභී එම්. ඉසෙඩ්. අමීර් සහ විකිණුම් අධීක්ෂක කාණ්ඩයේ සම්මානලාභී මාලින්ද ලියනගේ