සෙලින්කෝ ලයිෆ් අලෙවි ජයග්‍රහණ වෙනුවෙන් ලෝක සංචාරයන් තිළිණ කරයි

    October, 6, 2026

    සෙලින්කෝ ලයිෆ් සමාගම අලෙවි කාර්ය සාධනය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිය අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් 80 දෙනෙකු සඳහා වියට්නාමය සහ චීනය වෙත විදේශ සංචාර පිරිනමමින් ඔවුන්ගේ අලෙවි සාර්ථකත්වයට ඇගයීමක් මෙන්ම අමතක නොවන අත්දැකීම් ලබා දී ඇත.

    2025 වසරේදී දැක්වූ විශිෂ්ට අලෙවි කාර්ය සාධනය පදනම් කර ගනිමින් වියට්නාමය වෙත සංචාරය කළ අලෙවි ජයග්‍රාහකයින් 62 දෙනෙකුගෙන් සහ චීනය වෙත සංචාරය කළ 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් මෙම විදේශ සංචාර සඳහා සුදුසුකම් ලබා ඇත.

    වියට්නාම් සංචාරයට එක් වූ කණ්ඩායමට හැනෝයි නගරයෙන් ආරම්භ වූ සංචාරයේදී හෝ චි මින් සංකීර්ණය, වන් පිලර් පැගෝඩාව සහ ට්‍රාන් ක්වොක් පැගෝඩාව නැරඹීමට මෙන් ම මෙයිෂන් සෙන් හිදී දිවා ආහාරයක් ද භුක්ති විඳිමටද අවස්ථාව හිමි වූ අතර එරට සංස්කෘතිය, ඉතිහාසය සහ සුන්දර දර්ශනීය ස්ථාන පිළිබඳ අමතක නොවන අත්දැකීම් රැසක් හිමි විය. හෝආන් කියෙම් විල වටා සයිකල් සංචාරයක නිරත වීමෙන් වියට්නාම අගනුවරේ දේශීය සංස්කෘතිය අත්විඳීමට ඔවුන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.

    මීට අමතරව මගී නෞකා සංචාරයකින් යුනෙස්කෝ සංවිධානය විසින් පිළිගත් හා ලොන්ග් බොක්කෙහි සුන්දර ජල තීරය නරඹමින් නෞකාව තුළ ඔවුන් දිවා ආහාරය භුක්ති විඳිමින්, එම ප්‍රදේශය පුරා විහිදී ඇති දැවැන්ත හුණුගල් දූපත්වල අසිරිය විඳගත්තේය. සන්ග් සොට් ගුහාව ගවේෂණය කිරීම, කයැක් හෝ උණ බම්බු බෝට්ටුවකින් ලූන් ගුහාව නැරඹීම සහ ටිටොප් දූපතේ කාලය ගත කිරීමද සංචාරක වැඩසටහනට ඇතුළත් වූ අතර ඉන් අනතුරුව නෞකාවේ ඉහළ තට්ටුවේ සංගීතය සහ ප්‍රීතිමත් පැයක හිරු බැස යෑමේ සාදයක්ද පැවැත්විණි.

    චීනය බලා ගිය ජයග්‍රාහකයින් 18 දෙනාට බීජිං නගරයේ ඉතිහාසය, සංස්කෘතිය සහ ආකර්ෂණීය ස්ථාන නැරඹීමට අවස්ථාව උදා විය. සංචාරක වැඩසටහනට අනුව ටියානන්මෙන් චතුරශ්‍රය සහ තහනම් නගරය නැරඹීමෙන් අනතුරුව ගිම්හාන මාලිගය ද දැක බලා ගනිමින් කුන්මින් විල මත සාම්ප්‍රදායික බෝට්ටු සවාරියකට එක්වෙමින් චීන සංස්කෘතිය හා සම්ප්‍රදායේ අසිරිය අත්විඳීමටද හැකි විය.

    සංචාරයේ සුවිශේෂී අංගයක් වූයේ කේබල් කාර් ගමන් පහසුකම මඟින් චීන මහා ප්‍රාකාරයේ විශිෂ්ට මුටියන්යු කොටස නැරඹීමයි. මීට අමතරව සංචාරක කණ්ඩායම චාඕයැං රඟහලේ පැවති විචිත්‍රවත් ඇක්‍රොබැටික් ප්‍රසංගයක්ද නැරඹූ අතර ජනප්‍රිය පැන්ඩා සතුන් වඩාත් ක්‍රියාශීලීව සිටින වේලාවන් තුළ බීජිං සත්වෝද්‍යානයේ පැන්ඩා උද්‍යානයටද සංචාරය කරමින් එම සතුන් දැකබලා ගැනීමටද අවස්ථාව හිමි විය.

    මෙම සංචාරයන් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරන සිය විකුණුම් කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කරමින් සේවා ස්ථානයෙන් ඔබ්බට ගොස් එකිනෙකා සමඟ අත්දැකීම් බෙදා ගැනීමටත් තම ජයග්‍රහණ සැමරීමට අවස්ථාව සලසා දෙන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ සම්ප්‍රදායේ කොටසකි. සිය විකුණුම් තරගවලදී විශිෂ්ට දක්ෂතා දක්වන කාර්ය මණ්ඩලය ඇගයීම සඳහා මෙවැනි ත්‍යාග සහ අත්දැකීම් අඛණ්ඩව ලබා දෙන අතර ඒ හරහා සුහදත්වය වර්ධනය කිරීම, අභිප්‍රේරණය ඉහළ නැංවීම සහ මතකයේ රැඳෙන අත්දැකීම් ලබාදීම සඳහාද අවස්ථා නිර්මාණය කරයි.