සෙලින්කෝ ලයිෆ් ආදර්ශ හරිත ශාඛාවක් මාතලේ විවෘත වෙයි

    April, 27, 2023

    මාතලේ ප‍්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී තිරසාර පිරිවිතරයන්ට අනුකූල වන නව ශාඛා ගොඩනැගිල්ලක් සෙලින්කෝ ලයිෆ් විසින් සමාගම සතු මාතලේ ඉඩමක විවෘත කර ඇත.

    මිලියන 105 ක ආයෝජනයක් සමඟ ඉදිකරනු ලැබූ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල වර්ග අඩි 6,000 ක වපසරියකින් යුක්ත වන අතර එය 746/1, ති‍්‍රකුණාමලය පාර, මණ්ඩන්ඩවෙල, මාතලේ යන ස්ථානයේ පිහිටා ඇත. මාතලේ දිස්ත‍්‍රික්කයේ සෙලින්කෝ ලයිෆ් සිය ඉඩමක ඉදිකරන ලද පළමු ගොඩනැගිල්ල මෙය වේ. එසේම, මෙය මිහිතලයට හිතකර මෙහෙවරක් සමගින් සමාගමේ හරිත න්‍යාය පත‍්‍රයට අනුකූලව සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද 30 වැනි ගොඩනැගිල්ල වේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගම සිය මෙහෙයුම්වලින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අවම කිරීම කෙරෙහි දරන ප‍්‍රයත්නයට දායකත්වයක් දක්වන මෙම ගොඩනැගිල්ල ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ 25kW සූර්ය විදුලි බල පද්ධතියකින් සහ 5kW ස්වාධීන සූර්ය විදුලි බල පද්ධතියකින් විදුලිය ලබා ගනී. එය ජාතික බෙදාහැරීමේ පද්ධතියෙන් විදුලි පරිභෝජනය අඩු කරන අතර ජාතික බෙදාහැරීමේ පද්ධතියට අතිරික්ත විදුලිය ලබා දෙයි. එසේම, මෙහි නල ජල භාවිතය අවම කිරීම සඳහා වැසි ජලය රැස්කරන වෙනමම පහසුකමක් ගොඩනගා ඇති අතර අපජලය පිරිපහදු කිරීමේ පහසුකමක්ද ගොඩනගා තිබේ.

    මීට අමතරව, මෙම ගොඩනැගිල්ලට ස්වභාවික අලෝකය උපරිම වශයෙන් ලැබෙන ලෙස නිර්මාණය කර ඇති අතර බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි බුබුළු සහ වායු සමීකරණ යන්ත‍්‍ර සවිකර තිබේ. අවම ලී ප‍්‍රමාණයක් භාවිතා කරමින් ඉදිකර තිබෙන මෙම ගොඩනැගිලි පරිශ‍්‍රය තුළ ගස් වවා තිබෙන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ සමාගමේ හරිත න්‍යාය පත‍්‍රය තවදුරටත් සවිබල ගැන්වීමයි.

    පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා මෙයට පැමිණෙන අමුත්තන්ට වාහන නතර කර තැබීමට වාහන අංගනයක් මෙන්ම, පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සාකච්ඡා කිරීමට අවශ්‍ය පුද්ගලික සාකච්ඡා කාමර ද පිහිටුවා තිබේ. මාතලේ සහ ඒ අවට ප‍්‍රදේශ ආවරණය වන පරිදි අලෙවි කලාප 4 ක සමාගමේ නියෝජිතයන් මෙහි සිට කටයුතු කරනු ඇත. 50 දෙනෙකුට එකවර පුහුණු කළ හැකි පුහුණු ඒකකයක් ද මෙහි පිහිටුවා ඇත.

    සෙලින්කෝ ලයිෆ් විසින් ශ‍්‍රී ලංකා ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ශාඛා 250කින් යුත් විශාලතම ශාඛා ජාලය ක‍්‍රියාත්මක කරන අතර, දිස්ත‍්‍රික්ක 24ක් තුළ නගර සහ ගම්මාන 132ක් මෙයින් ආවරණය වෙයි.

    2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

    සේයාරු සටහන: (ඉහළ) සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා (පිළිවෙලින් වම් කෙළවරේම සහ වමේ සිට දෙවැන්නා) සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සාමාජිකයන් සමඟ මාතලේ නව ශාඛා ගොඩනැගිල්ල විවෘත කරන අයුරු.