සෙලින්කෝ ලයිෆ් නව ප‍්‍රණාම ශිෂ්‍යත්ව 160 ක් ප‍්‍රදානය කරමින් අධ්‍යාපනයෙහි වැදගත්කම අවධාරනය කරයි

    February, 18, 2019

    18 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සමඟ සිසුන් 2568 ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 143 ක් දක්වා ඉහළට

     

    අධ්‍යාපනය තුළින් පුද්ගලයින්ගේ ජීවිත පමණක් නොව සමස්ත සමාජයම ධනාත්මකම වෙනස් කළ හැකිබව  පසක් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 18 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකිකයින් 160 දෙනෙකු වෙත පසුගියදා නව ශිෂ්‍යත්ව සමාගම විසින් ප‍්‍රදානය කළේය.

     

    මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන්, අx පොx ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලින් සමත් වූ දරුවන්ට සහ ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ට රුපියල් මිලියන 12 කට ආසන්න මුදලක් මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂ්ත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා විසින් මෙම වාර්ෂික ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී ලබාදෙන ලදී.  මේ වනවිට, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් රුපියල් මිලියන 143 ක ප‍්‍රතිලාභ මෙරට සිසු දරුවන් 2,568 දෙනෙකුට ලබාදී තිබීම කැපී පෙනේ.

    මෙම වැඩසටහනට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කළේ දරුවන්ගේ කුසලතා සහ ජයග‍්‍රහණ මගින් දෙමව්පියන්ගේ, ඔවුන්ගේ පවුලේ, නෑදෑයන්ගේ, ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ සහ සමස්ත සමාජයේම ජීවිත ධනාත්මකව වෙනස් කළ හැකිබව දෙමව්පියන් මතක තබාගත යුතු බවයි.

     

    සමබර සහ පරිනත සමාජයක් ගොඩනැගීම සඳහා සමාජ සංවේදී  (socio-emotional) කුසලතාවයන් වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මහාචාර්යවරයා අධ්‍යාපනික සහ බාහිර ක‍්‍රියාකාරකම් ජයග‍්‍රහණ දිරිමත් කරමින් ප‍්‍රතිලාභ ලබාදෙන සෙලින්කෝ ලයිෆ් ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සමාජ සංවේදී කුසලතා වර්ධනය කිරීම සඳහා දායකත්වය ලබාදෙන බව සඳහන් කරමින් එම වැඩසටහන ඇගයීමට ලක් කළේය. ශිෂ්‍යත්ව ලාභීන් අමතමින් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමුදා පුහුණුවේදී යොදාගන්නා ‘comply and complain’ නැමති සංකල්පය අනුගමනය කරන ලෙස අවවාද කළේය. තමන්ට නොමැති අනුන්ට තිබෙන දෙය පිළිබඳව දුක් නොවී තමන්ට තිබෙන හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් තමා කිරීමට තෝරාගත් දෙයට ආදරය කිරීම වැදගත් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙහිදී, අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසුවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් කළ කැපකිරීම හේතුවෙන් සෑම ශ‍්‍රී ලාංකේය දරුවෙකුටම නිදහස් අධ්‍යාපනය ලබාගැනීමේ වරම හිමිවී ඇති නමුත්, අද වනවිට තම දරුවන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දෙමව්පියන්ට විශාල මහන්සියක් වීමටත් විශාල මුදලක් වැය කිරීමටත් සිදුව තිබෙන බවයිග මේ හේතුවෙන් සමාගමේ ලාභයෙන් කොටසක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැයකිරීම වෙනුවෙන් සමාගම විසින් සෑම වසරකම ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    පවුලෙන් දරුවන්ට ලැබෙන ආදරය සහ ආරක්ෂාව මිලකළ නොහැකි බව අවධාරණය කළ රණසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ දරුවන් පාසැල් යැවීමෙන් ඔබ්බට දෙමව්පියන්ට දරුවන් සම්බන්ධයෙන් වගකීමක් තිබෙන බවයි. ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලාභීන් විසින් සිය දෙමව්පියන්ට ගරු කරන අතරම ඔවුන්ගේ සැදෑ සමයේදී ඔවුන් බලාගැනීම කළ යුතුබව ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    අනාගත නායකයින්ට කිරුළු පැළඳවීමේ අරමුණෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කර තිබූ ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ මෙම වැඩසටහන පෙබරවාරි 09 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වුණු අතර එයට සෑම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය කරමින් දීප්තිමත් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන් සහභාගී විය.

     

    මෙහිදී, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත්වූ  දරුවන්ට රුපියල් 120,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් වසර පහකදී මාසික වාරික වශයෙන් ගෙවීමේ පදනම මත ලබාදුන් අතර මෙවැනි ශිෂ්‍යත්ව 29 ක් ප‍්‍රදානය කරන ලදී. එසේම, 2017 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දස්කම් දැක්වූ දරුවන් 26 දෙනෙකුට රුපියල් 84,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් ලබාදුන්නේ වසර දෙකකදී මාසික වාරික වශයෙන් ගෙවීමේ පදනෙමිනි. මේ අතර, 2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් පළමුවැනියා වූ දරුවන් 25 දෙනෙකුටද සමාගම විසින් රුපියල් 144,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් පිරිනැමූ අතර 2017 සහ 2018 වසර වලදී ක‍්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන ලබාදෙමින් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප‍්‍රදානය කළේය.

     

    එසේම, 2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 71 දෙනෙකුට රුපියල් 30,000 බැගින් එක් වරක් ලබාදීමටද සමාගම කටයුතු කළේය.

     

    අ.පො.ස. උසස් පෙළ අංශය යටතේ ප‍්‍රණාම ශිෂ්‍යත්ව දිනාගත් 96 දෙනාටම ‘ගාර්ඩියන්’ රක්ෂණය යටතේ නොමිලේ ජීවිත රක්ෂණයක් ලබාදීම මෙවර වැඩසටහනේ කැපී පෙනුණු අංගයක් බවට පත්විය. මෙම රක්ෂණ ඔප්පුවේ ප‍්‍රධාන ප‍්‍රතිලාභය වන්නේ දෙමව්පියන්ගේ අකල් මරණයකදී හෝ පුර්ණ හා සදාකාලික දුබලතාවයට පත්වන තත්ත්වයකදී දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට මාසිකව රුපියල් 4000 ක මුදලක් ප‍්‍රදානය කිරීමයි.

     

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වුණු ප‍්‍රධාන උත්සවයෙන් පසුව ඒ ඒ දිස්ත‍්‍රික්ක වලින් 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගය යන විභාග වලින් ඉහළම ලකුණු ලබාගත් 10 දෙනා බැගින් තෝරා ගනිමින් තවත් සිසුන් 600 දෙනෙකු ඇගයීමට ලක් කිරීමේ වැඩසටහන්ද සමාගම විසින් ශාඛා මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇත. මෙම සිසුන්ට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ත්‍යාග සමග සහතික පත‍්‍ර ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත.

     

    2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත‍්‍රකළ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

     

     

    සේයාරු සටහන - ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ මහාචාර්ය කපිල පෙරේරා මහතා අතින් (ඉහළ), සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා අතින් (මැද) සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා අතින් (පහළ) ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලාභීන් තිදෙනෙකු ශිෂ්‍යත්ව ලබාගත් අයුරු.