සෙලින්කෝ ලයිෆ් පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.87 ක හිමිකම් සහ ප‍්‍රතිලාභ සිය රක්ෂණ ඔප්පු හිමියන්ට ගෙවයි

    May, 29, 2020

    පශ්චාත් කොවිඞ්-19 අභියෝගයන්ට මුහුණදීමට සමාගම සතු මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිටුවහලක් බව ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා අවධාරණය කරයි

    සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුව තුළදී සිය රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 2.87 ක දළ ප‍්‍රතිලාභ සහ හිමිකම් ගෙවා තිබෙන අතර එය 2019 පළමු කාර්තුව සමග සැසඳීමේදී 17.7% ක වර්ධනයකි.

    කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ඇතිවිය හැකි ආර්ථික අවපාතය හමුවේ නොසැළී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ප‍්‍රධාන ව්‍යාපාරයට තිබෙන කැපවීම පිළිඹිබු කරමින් 2020 පළමු කාර්තුව තුළදී සිය ජීවිත අරමුදලට රුපියල් බිලියන 1.81 ක අරමුදල් බැරකර තිබීම කැපී පෙනේ. මේ අනුව, 2020 මාර්තු 31 වනදා වනවිට සමාගමේ ජීවිත අරමුදල රුපියල් බිලියන 98.12 ක්වී තිබෙන බව සමාගම සඳහන් කරයි.

    කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා 2020 මාර්තු මාසය මැදදී ව්‍යාපාර නතර කිරීමට සිදුවීමට පෙර සමාගමේ ප‍්‍රධාන ව්‍යාපාරික කටයුතු වලින් සහ ආයෝජන වලින් ලැබූ වර්ධනය හමුවේ සලකා බලන මාස තුනක කාලය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 8.11 ක දළ ආදායමක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර සමාගමේ දළ වාරික ආදායම 10.5% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.73 ක්වී තිබේ. මේ අතර, 2020 මුල් කාර්තුව තුළදී සමාගමේ ආයෝජන සහ අනිකුත් ආදායම් 16.6% කින් වර්ධනය වී රුපියල් බිලියන 3.38 ක්වී තිබේ.

    ‘මෙය ඉතාමත් අභියෝගාත්මක වසරක හොඳ ආරම්භයක් ලෙසින් සඳහන් කළ හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්.රෙන්ගනාදන් මහතා පැවසීය. ‘පළමු කාර්තුවේ අපගේ කාර්යසාධනය මගින් පෙන්නුම් කරන්නේ අප සතුව තිබෙන ශක්තිය මෙන්ම ස්ථාවරත්වයත් බාහිර අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගැනීමට සමාගමට තිබෙන ශක්තියයි. කොවිඞ්-19 වසංගතය වෙනුවෙන් ව්‍යාපාර වසා දැමීම සෑම ව්‍යාපාරයකටම අහිතකර ලෙස බලපානවා. සෙලින්කෝ ලයිෆ් වැනි ශක්තිමත් ව්‍යාපාර වලට මෙම අර්බුදයට මුහුණදී ජයගැනීමේ ශක්තිය තිබෙනවා.’

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා සඳහන් කළේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය පිළිබඳව සමාගම විසින් පවත්වාගෙන යන යහක‍්‍රමවේදයන් සහ බුද්ධිමත් ආයෝජන කළමනාකරණය නිසා සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය සහතික වී තිබෙන බවයි.

    2020 මාර්තු 31 වනදා වනවිට සලකා බලන මාස තුනක කාලය තුළදී සමාගමේ සමස්ත වත්කම් පෙර වසරේ පළමු කාර්තුවට වඩා 12% කින් වර්ධනය වී රුපියල් බිලියන 149.6 ක්වී තිබේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගම 2019 වසර ඉතාමත් ශක්තිමත්ව අවසන් කළ අතර 2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී රුපියල් බිලියන 32.1 ක ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එය 9.9% ක වර්ධනයකි. මේ අතර, එම වසරේදී සමාගම විසින් රුපියල් බිලියන 18.7 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 16 වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ නායකත්වය අත්කර ගත්තේය.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රකළ අතර 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සමාගම තෝරා ගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර එම වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.