සෙලින්කෝ ලයිෆ් මෙහෙයුම් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය දැන ගැනීමට තක්සේරුවක් අරඹයි

    December, 3, 2020

    දිවයින පුරා සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව තක්සේරුවක් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම කාබන් කන්සල්ටිං කම්පනි සමග එක්වී ඇත. මෙම විස්තීර්ණ හරිතාගාර වායු (GHG) තක්සේරුව සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත න්‍යාය පත‍්‍රයට අනුව ආරම්භ කර තිබෙන අතර මෙමගින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී සෘජුව සහ වක‍්‍රාකාරව පරිසරයට මුදාහරින හරිතාගාර වායු පිළිබඳව ගණනයක් කරනු ලබයි. මේ නිසා, තම ව්‍යාපාරික කටයුතු වලින් පරිසරයට සිදුවන බලපෑම අවමකර ගැනීම සඳහා මෙම තක්සේරුව ප‍්‍රයෝජනයට ගැනීමට ඉදිරියේදී සමාගමට හැකිවනු ඇත.

    සෙලින්කෝ ලයිෆ් සමාගම වඩාත් තිරසාරවීම උදෙසා සිය ශාඛා රැසක දැනටමත් වැඩසටහන් කිහිපයක්ම දියත් කර තිබෙන අතර සූර්ය විදුලියෙන් බලශක්තිය ලබාදෙන, වැසි ජලය එක්රැස් කර ප‍්‍රයෝජනයට ගන්නා, අප ජලය පිරිපහදු කරන, බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි ආලෝකය සහ වායු සමීකරණ පද්ධති වලින් සමන්විත පරිසර හිතකාමී ශාඛා කාර්යාල ඉදිකිරීම වැනි ක‍්‍රියා මාර්ග මෙහිදී ගෙන තිබේ. සමාගම විසින් සිදුකරන මෙම තක්සේරුව මගින් තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳව වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන අතර සමාගමේ තිරසාර වැඩසටහන් අර්ථවත්ව ඉදිරියට රැගෙන යමින් කර්මාන්තය තුළ සිය නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මින් මග පෑදෙනු ඇත.

    සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම තක්සේරුව සිදුකිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම සහ ද කාබන් කන්සල්ටිං කම්පනි අතර අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සහ අධ්‍යක්ෂ පාලිත ජයවර්ධන මහතා (වමේ සිට තුන්වැන්නා සහ සිව් වැන්නා), ද කාබන් කන්සල්ටිං කම්පනි හි, ප‍්‍රධාන විධායක නිළධාරී සහ උපාය මාර්ගික සැලසුම් ප‍්‍රධානී, සනත් ද එස්. විජේරත්න මහතා, සහකාර කළමනාකාරිණී - පාරිභෝගික සබඳතා කළමනාකරණ රුවන්ති හල්වල මෙනෙවිය සහ සෙලින්කෝ ලයිෆ් ග‍්‍රීන් ක්ලබ් නියෝජිතයින් පිරිසක් සහභාගී විය.