සෙලින්කෝ ලයිෆ් යාපනයේ රෝහල් වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

    January, 5, 2021

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ නෙල්ලිඅඩි නව ශාඛා ගොඩනැගිල්ල විවෘත කිරීමට අනතුරුව සමාගම විසින් යාපනයේ වඩමාරච්චි කළාපයේ පිහිටි රෝහල් දෙකක් වෙත රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා ජීවිතය සුරකින වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

    මෙහිදී, ආසන්න වශයෙන් නොමේරූ ළදරු උපත් 5% ක් පමණ වාර්තා වන පේදුරු තුඩුව මූලික රෝහලට සමාගම විසින් YP-920 ළදරු ඉන්කියුබේටර් 02 ක් පරිත්‍යාග කළ අතර ඩෙංගු රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය SpO2 සෙන්සරයක් සහිත Rad-97 ප්ලස් කො ඔක්සිමීටරයක්, පල්ස් රේට් මොනිටරයක්, පර්ෆියුෂන් ඉන්ඩෙක්ස් එකක්, කාබන් ඩයොක්සයිඞ් ඩිස්ප්ලේ කිහිපයක් සහ M20 පේෂන්ට් කේබලයක් වැල්වැටිතුරෙයි ප‍්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කළේය.

    යාපනය අර්ධද්වීපයේ ඉතාමත් වැදගත් රෝහලක් ලෙස සැලකෙන පේදුරු තුඩුව මූලික රෝහල මගින් පේදුරු තුඩුව, කරවෙඞ්ඩි සහ මරුදන්කෙනි යන ප‍්‍රදේශවල 150,000 ක් පමණ පිරිසක් වෙත සෞඛ්‍ය සේවා සපයනු ලබන අතර ඉතාමත් හදිසි අවශ්‍යතාවයක් ලෙස ඉන්කියුබේටර්ස් කිහිපයක් සපයා ගැනීම තිබුණි. ඇඳන් 292 ක්, වෛද්‍යවරුන් 40 ක්, හෙදියන් 68 ක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 112 ක් සිටින පේදුරු තුඩුව රෝහල මගින් සාමාන්‍යයෙන් මසකට රෝගීන් 13,000 ක් වෙත ප‍්‍රතිකාර ලබාදෙයි.

    හදිසි ප‍්‍රතිකාර ඒකකයේ අවශ්‍ය උපකරණ නොමැති කමින් වැල්වැටිතුරෙයි ප‍්‍රාදේශීය රෝහල මගින් මාසයකට රෝගීන් 15 ක් පමණ අනිකුත් රෝහල් වලට මාරුකර යවන අතර සමාගම විසින් Rad-97 ප්ලස් කො ඔක්සිමීටරයක් මෙම රෝහලට ප‍්‍රදානය කිරීම නිසා ඩෙංගු රෝගීන්ට සහ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට වැඩි පහසුකමක් මේ වනවිට ලැබී තිබේ. මෙම රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයට සාමාන්‍යයෙන් මාසයකට රෝගීන් 25 ක් පමණ ඇතුළත් කරයි. 1947 වසරේදී ආරම්භ කළ වැල්වැටිතුරෙයි ප‍්‍රාදේශීය රෝහල යාපන අර්ධද්වීපයේ තිබෙන පස්වන රෝහල ලෙසින් වර්ගීකරණය කර තිබෙන අතර මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 6,750 කට පමණ ප‍්‍රතිකාර කරයි.

    මෙම රෝහල් වෙත වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවන් සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මෙන්ම සමාගමේ යාපනය කළාපයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

    මෙරට රජයේ රෝහල් වලට අවශ්‍ය, අත්‍යවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් නිරන්තරයෙන් ප‍්‍රදානය කරන්නෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම දිගු කාලයක් පුරා කටයුතු කර ඇත. කොවිඞ්-19 වැළඳුණු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නන්-ඉන්වේසිව් වෙන්ටිලේටර්ස් දෙකක් සමාගම විසින් පසුගිය අපේ‍්‍රල් මාසයේදී රජයට පරිත්‍යාග කරන ලදී. එසේම, මේ වසර මුලදී පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණයෙන් නවීකරණය කර නවීන උපකරණ සවිකළ කීමෝතෙරපි ඒකකයක් ත‍්‍රිකුණාමලය මහ රෝහලට සමාගම පරිත්‍යාග කළ අතර මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල පිහිටි කොළඹ-දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල යන රජයේ රෝහල් පහ සඳහා සම්පූර්ණ උපකරණ සහිත High Dependency ඒකක (HDUs)පහක් සමාගම විසින් පරිත්‍යාග කළේය.

    මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 කට වැඩි ප‍්‍රමාණයක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2020 සහ 2019 වසර වලදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා ප‍්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වැල්වැටිතුරෙයි ප‍්‍රාදේශීය රෝහලට (ඉහළ) සහ පේදුරු තුඩුව මූලික රෝහලට (පහළ) අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු.