සෙලින්කෝ ලයිෆ් සමාගමට ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන හතරක්

    April, 21, 2022

    මෙරට විවිධ අංශවල ව්‍යාපාර දැක්වූ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කළ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් ඇතුළුව සම්මාන 04 ක් දිනාගැනීමට සමත්විය.

    ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ආයතනික පාලනය සහ උපාය මාර්ග සඳහා රන් සම්මානයත්, පාරිසරික තිරසාරත්ව විශිෂ්ටත්වය වෙනුවෙන් රීදී සම්මානයත්, ව්‍යාපාරික අංශයේ සම්මාන වලදී රක්ෂණ ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානයත්, ආංශික සම්මාන වලදී මහා පරිමාණ අංශයේ ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ලෝකඩ සම්මානයත් දිනාගන්නා ලදී.

    ‘වර්තමාන කාලයේදී ඉතාමත් අභියෝගාත්මක වසරකදී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම වැදගත් සම්මාන දිනාගැනීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘මෙවැනි සම්මාන මගින් තවදුරටත් ගනුදෙනුකරුවන්, ප‍්‍රජාව සහ පරිසරය වෙනුවෙන් අපගේ යුතුකම් ඉටුකරමින් ඉදිරියට යාමට අපගේ කණ්ඩායමට දිරියක් ලැබෙනවා.’

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ලබාදීමේදී ක‍්‍රමවේද හතක් පදනම් කරගනිමින් අදාළ අයදුම්පත් සලකා බලන අතර එය අදියර තුනකදී සිදුකරයි.

    මේ අනුව, ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ලබාදීමේදී සලකා බලන අංශ හත අතරට නායකත්වයේ විශිෂ්ටත්වය, ආයතනික පරිපාලනයේ විශිෂ්ටත්වය, ධාරිතාවය ගොඩනැගීමේ විශිෂ්ටත්වය, කාර්ය සාධන කළමනාකරණයේ විශිෂ්ටත්වය, දේශීය සහ ගෝලීය වෙළඳපොළ වෙත සමීපවීමේ විශිෂ්ටත්වය, ආයතනික සමාජ වගකීමේ සහ පාරිසරික තිරසාරභාවයේ විශිෂ්ටත්වය, ව්‍යාපාරික සහ මූල්‍ය ප‍්‍රතිඵලවල විශිෂ්ටත්වය යන කරුණු ඇගයීමට ලක් කරයි.

    මෙවර සම්මාන ප‍්‍රදානෝත්සවය කොවිඞ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී, ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන ප‍්‍රදානය කිරීමේදී පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීමට, වැඩකරන ස්ථානයේ පරිසරය යහපත් ලෙස පරිවර්තනය කිරීමට සහ සමාජයේ සියළුම දෙනාටම වටිනාකම් ගොඩනැගීමට සමාගම් ගත් පියවර පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන ලදි.

    2004 වසරේ ආරම්භ කළ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවය ඉතාමත් ඉහළ ප‍්‍රමිතියෙන් පවත්වාගෙන යන අතර එය ව්‍යාපාරික ප‍්‍රජාවගේ ඉහළ ගෞරවයට සහ ආදරයට මේ වනවිට පත්වී තිබේ. එසේම, ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික විශිෂ්ටත්වට ඇගයීම සඳහා තිබෙන ඉතාමත් හොඳින් සකස් වූ සම්මාන ප‍්‍රදානෝත්සවයක් ලෙසද මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය මේ වනවිට කීර්තියක් දිනාගෙන ඇත.

    ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

    සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

     

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී, පාලිත ජයවර්ධන මහතා (වමේ සිට තුන්වැන්නා) සහ සම්මාන ප‍්‍රදානෝත්සවයට සහභාගි වු සමාගමේ කණ්ඩායම.