සේනා දළඹුවාට එරෙහි සටනට FAO වෙතින් ඩොලර් මිලියන 500ක නව ගෝලීය මුල පිරීමක්

    December, 16, 2019

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ”සේනා දළඹුවා පාලනය කිරීමේ ගෝලීය ක‍්‍රියාව” නමින් වැඩසටහනක් දියත් කර ඇත. 2020-22 කාල පරිච්ඡේදය තුළ දී මෙම නව වැඩසටහන යටතේ එ.ජ.ඩො. මිලියන 500ක් සජීවීකරණය කිරීමට අපේක්ෂිත ය. ගෝලීය මට්ටමකින් සේනා දළඹුවාට එරෙහිව සටන් කිරීම සඳහා නවෝත්පාදක, ඍජු හා සම්බන්ධීකරණය කරන ලද පියවරයන් ගැනීම මෙම පුරෝගාමී මුල පිරීමේ අභිමතාර්ථය යි.

    සේනා දළඹුවා යනු ඇමරිකානු රටවල උපත ලද ආක‍්‍රමණකාරී සලබයෙකි. මෙම සලබයා බඩ ඉරිඟු ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන නමුත් සහල්, ඉදල් ඉරිඟු, මෙනේරි, එළවළු භෝග හා කපු ඇතුළු තවත් භෝග වර්ග 80කට වැඩි සංඛ්‍යාවක් ආහාරයට ගනියි. යම් ප‍්‍රදේශයක් තුළ තහවුරු වූ විට සේනා දළඹුවා මුළුමනින් ම තුරන් කළ නොහැකි අතර පැතිරීම නතර කිරීම අතිශයින් ම දුෂ්කර වේ.

    ආහාර හා කෘෂිකර්ම සංවිධානය ”සේනා දළඹුවා පාලනය කිරීමේ ගෝලීය ක‍්‍රියාව” (Global Action for Fall Armyworm Control) නමින් දියත් කර ඇති මෙම නව මුල පිරීම පීඩාවට පත්ව සිටින මිලියන සිය ගණනක් ගොවීන් වෙත ළඟා විය හැකි පරිදි FAO ව්‍යාපෘති හා ක‍්‍රියාකාරකම්වල පරිමාණය දැවැන්ත ලෙස වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. ගෝලීය ක‍්‍රියාව ප‍්‍රධාන අරමුණු තුනකින් සමන්විත ය:

    i) සේනා දළඹුවා සම්බන්ධ පාලනය, පූර්ව අනතුරු ඇඟවීම හා ඒකාබද්ධ පළිබෝධ පාලනය පිළිබඳ ගෝලීය සම්බන්ධීකරණය හා කලාපීය සහයෝගිතාව ඇති කිරීම;

    ii) ආශ‍්‍රිත භෝග හානි අවම කිරීම; සහ

    iii) තව දුරටත් පැතිරීමේ අවදානම අඩු කිරීම.

    ගෝලීය ක‍්‍රියාව මෑත වසරවල දී සේනා දළඹු ආක‍්‍රමණය අත්දැක තිබෙන අප‍්‍රිකාව, මෑත පෙරදිග හා ආසියාව යන කලාප තුන ඉලක්ක කර ගනු ඇත. ගෝලීය ක‍්‍රියාවේ දී ප‍්‍රධාන තැන හිමි වනු ඇත්තේ සේනා දළඹුවා නිසා පීඩාවට පත්ව සිටින කුඩා ඉඩම් හිමියන් අතර දැනුම හා තොරතුරු ප‍්‍රචලිත කිරීම සඳහා විශේෂයෙන් ම ඊට ම කැප වූ ජාතික කාර්ය බලකායන් ස්ථාපිත කරමින් හෝ පුළුල් කරමින් දරනු ලබන සම්බන්ධීකරණය කරන ලද පරිශ‍්‍රමයන්ට ය. මෙම කාර්ය බලකායන් ගොවි ක්ෂේත‍්‍ර පාසල් ( Farmer Field Schools) වැඩසටහන වැනි දැනට ක‍්‍රියාත්මක FAO මුල පිරීම් පෝෂණය කරමින් හා ඒවායින් ඔබ්බට යමින් වඩාත් ම හුදෙකලා ප‍්‍රජාවන් වෙත ළඟා වනු ඇත.

    ගෝලීය ක‍්‍රියාව ජීව විද්‍යාත්මක පළිබෝධ පාලනය හා වෙනත් නවෝත්පාදක ක්ෂේත‍්‍ර භාවිතයන් මෙන් ම සේනා දළඹු පාලන සහ පූර්ව අනතුරු ඇඟවීමේ Fall Armyworm Monitoring and Early Warning System – FAMEWS) ජංගම යෙදවුම වැනි තාක්ෂණයන් ද ප‍්‍රවර්ධනය කරනු ඇත. ස්මාට් දුරකථනවල ස්ථාපනය කළ හැකි නොමිලේ සම්පාදනය කෙරෙන මෙම ජංගම යෙදවුම සේනා දළඹුවා කර ඇති හානිය අනාවරණය කර ගෙන ඊට දැක්විය යුතු නිසි ප‍්‍රතිචාර තෝරා ගැනීම සඳහා කෘත‍්‍රිම බුද්ධිය උපයෝග කර ගනිමින් ගොවීන්ට සහාය වෙයි. ඒ මොහොතේ ම ප‍්‍රතිචාර දක්වන දත්ත මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කරන FAMEWS යෙදවුම පළිබෝධයේ පැතිරීම හා භෝග වගාවට සිදු වී තිබෙන හානිය වඩාත් හොඳින් තක්සේරු කිරීමට අවස්ථාව ලබා දෙමින් මැදිහත් වීම් නිසි පරිදි ඉලක්කගත කිරීමට සහාය වෙයි.

    ශ‍්‍රී ලංකාව තුළ දී FAO සේනා දළඹු පාලන පියවරයන් සම්බන්ධයෙන් පවත්නා තාක්ෂණික ඌනතාවන් විශේෂයෙන් ම ස්වාභාවික සතුරන් බෝ වීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සහ පාලනය හා දැනුවත්කම ඇති කිරීම සම්බන්ධයෙන් පවත්නා ඌනතාවන් මග හරවා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අරමුදල් හා තාක්ෂණික සහාය සම්පාදනය කරයි. සේනා දළඹු පාලන සහ පූර්ව අනතුරු ඇඟවීමේ (FAMEWS) ජංගම යෙදවුම ශ‍්‍රී ලංකාවේ දේශීය භාෂාවන්ට පරිවර්තනය කිරීම සඳහා ද FAO කටයුතු කරමින් සිටියි.

    ඡායාරූප - සේනා දළඹු පාලන සහ පූර්ව අනතුරු ඇඟවීමේ (FAMEWS) ජංගම යෙදවුම භාවිතය.