සෞදි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ඒවීම කඩිනම් කිරීමට එරට සූදානම්

    May, 6, 2016

    නියෝජ්‍ය ඇමති හර්ෂගේ දීර්ඝ කරුණු දැක්වීම ඵල දරයි

    සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා ඉක්මනින්ම පිටවීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට සෞදි රජය එකඟතාවයට පැමිණ තිබේ.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මැයි 01 වනදා සිට මැයි 04 වනදා දක්වා සෞදි අරාබියේ සිදුකළ සංචාරයේදී එරට කම්කරු අමාත්‍ය මොෆර්රෙජ් සාඩ් අල්- හොකුබානි මහතා (Mofarrej Saad Al- Hoqubani) සහ එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අහ්මඩ් අල් සලීම් (Ahmed Al Salem) මහතා සමග සිදුකළ සාකච්ඡා වලදී පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් අතරමං වී එරට ශුභ සාධන කඳවුරුවල සිටින බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදය නිසා සමහර අවස්ථාවල බොහෝ කාලයක් ඔවුන්ට රැඳී සිටීමට සිදුව තිබෙන බවයි.

    මෙම කරුණු දැක්වීමට යහපත් ප්‍රතිචාරයක් ලබාදෙමින් එසේ ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීම වේගවත් කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට සෞදි රජය එකඟත්වය පළ කළේය.

    මීට අමතරව, සෞදි ආරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ රැකියාවල තොරතුරු වරින් වර ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට මෙම අමාත්‍යවරුන් එකඟත්වය පළකරන ලදී. මේ නිසා, සෞදි ආරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරියේදී මෙම තොරතුරු භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයින්ගේ ශුභ සාධන ගැටලු කඩිනමින් විසඳීමේ අවස්ථාව හිමිවනු ඇත. මේ වනවිට, එරට සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ ආකාරයෙන් විධිමත්ව නොලැබේ.

    මෙම සංචාරයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳව එරට සමාජ කටයුතු අමාත්‍ය මජෙඩ් බින් අබ්දුල්ලා අල් කාස්බි (Majed bin Abdullah Al Qasby) මහතා සහ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලාසිස් අබ්දුල්ලාහ් බින් සයීඩ් (Abdulaziz Abdullah Bin Saeed) මහතා සමගද සාකච්ඡා කළේය.

    මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එරටදී හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අතරමංවූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෞදි රෝහල් මගින් එම ප්‍රතිකාර ලබාදීමට මෙම අමාත්‍යවරුන් එකඟත්වය පළකරන ලදී. මේ වනවිට, එවැනි අවස්ථාවක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමිවන්නේ නැත. මීට අමතරව, සෞදි ආරාබියේදී මරණයට පත්වන ශ්‍රී ලාංකිකයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඉක්මනින් පවත්වා අදාළ මෘත දේහයන් ලංකාවට එවීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙහිදී එකඟත්වයට පත්විය.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිසාර් බින් ඔබයිඩ් මඩානි මහතා (Nizar bin Obaid Madani) සමගද සාකච්ඡා කළ අතර දෙරට අතර තිබෙන ද්විපාර්ශවික සබඳතාවල වැදගත්කම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරමින් ලබාදෙන සහයෝගයට තුති පිදීය. මෙම සෞදි අමාත්‍යවරුන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාවක්ද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළේය.

    මීට අමතරව, මෙම සංචාරයේදී හර්ෂ ද සිල්වා මහතා රියාඩ් හි, සේවය කරන ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ රැස්වීමක් ඇමතූ අතර දෙරට අතර වෙළඳ, ආයෝජන, සංචාරක සහ සංස්කෘතික සබඳතාවයන් තර කර ගැනීම සඳහා ඔවුන් විසින් දක්වන දායකත්වය ඇගයීමට ලක් කළේය.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා පාර්ශවයෙන් මෙම සාකච්ඡා වලට සෞදියේ ශ්‍රී ලංකා තානාපති එම්.ඒ. තාසිම් මහතා සහ විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්, සුදන්ත ගනේගම ආරච්චි මහතා සහභාගී විය.

    සේයාරුව 01- (වමේ සිට දකුණට) විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගනේගම ආරච්චි මහතා, සෞදියේ ශ්‍රී ලංකා තානාපති එම්.ඒ. තාසිම් මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, නිසාර් බින් ඔබයිඩ් මඩානි මහතා (Nizar bin Obaid Madani)


    සේයාරුව 02- විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා එරට කම්කරු අමාත්‍යවරයා සමග