හතරවැනි කාර්මික විප්ලවයට අප එක් විය යුතුයි

    October, 18, 2017

    කාර්මික විප්ලවයේ යුග තුනක් අපට අහිමි වුණා. හතරවැනි කාර්මික විප්ලවයට අප එක් විය යුතුයි. මැදි ආදයම් රටක සිට ඉහළ ආදායම් ලබන රටකට යෑමේ එකම මඟ එයයි.ඩිජිටල් පදනම් මතයි රටවල් ගොඩනැඟෙන්නේ යැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන ) පනත් කෙටුම්පත ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. දෙවැනිවර කියවීමේ විවාදයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

    අද ලෝකයේ පවතින්නේ හතරවැනි කාර්මික විප්ලවයේ තත්ත්වය ලෙසයි.මෙහි වැදගත් අවශ්‍යතාවය ඩිජිටල් ආණ්ඩුකරණයයි. එහි වැදගත් පියවර මෙම පනතයි. මිනිස්සු තාක්ෂණික වෙනස්කම් ඇතිකර ගත්තා. පරිසරයට හිතකාමි සංවර්ධන ක්‍රමයක් එදා සකස් කර ගත්තා. පළමු කාර්මික විප්ලවය යුගය හඳුන්වන්නේ මිනිස් ශ්‍රමය ගුණාකාර වූ යුගයක් ලෙසයි.දෙවැනි කාර්මික විප්ලවයට මුල්ගල තැබුවේ ඇමෙරිකාවයි.

    පරිගණකය ආරම්භ වීම දත්ත සන්නිවේදනය කරන චන්ද්‍රිකා තාක්ෂණය ආරම්භ වුණා. තොරතුරු තාක්ෂණ යුගය ආරම්භ වුණා. පාරයථාර්තයක් මේ හරහා ගොඩ නැගුණා. පසුව හතරවැනි කාර්මික විප්ලවයට ගමන් ගත්තා. සුහුරු ලෝකය බිහිවීම සිදු වුණා. ෆෙස් බුක් වලට කර්තෘවරු නෑ. බුද්ධිවාදයේ අවසානය සිදු වී තිබෙනවා. තර්ක විතර්ක සංඛ්‍යාලේඛනවලින් නොවේ හැගීම්වලින් ගොඩනැගුණු පශ්චාත් සත්‍යවාදී යුගයක් ඇතිවෙනවා. ඒ නිසා රාජ්‍යයන් බරතල තත්ත්වයන්ට ලක් වෙනවා. අද ඇති වී තිබෙන රෝබෝ තාක්ෂණය,මේ සියලු කාරණාවලින් අනාගතයේ විශාල විප්ලවයක් සිදු වෙනවා. හිතාගන්න බැරි පළල් ව්‍යාපෘතියක් බවට හතරවැනි විප්ලවය ඇති වෙනවා. එ නිසා පැරණි වෘත්තීන් නැති වෙනවා. අලුත් වෘත්තීන් ඇති වෙනවා. ඩිජිටල් වේදිකාවකට ආණ්ඩුකරණය ගෙන එන්න අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා විවාදය ආරම්භ කරමින් පැවසී ය.