හම්බන්තොට වරායට වැඩි පොලියට ණයගත් බව ඔප්පු කළ හැකි ලේඛන අපි සතුයි -හර්ෂ

    July, 15, 2015

    සියයට 1.4 ක් වැනි අඩු පොලී අනුපාතයකට ණය ලබාගැනීමේ හැකියාව තිබෙද්දී පසුගිය රජය විසින් හම්බන්තොට වරාය සඳහා සියයට 6.3 ක් වැනි වැඩි පොලී අනුපාතයකට චීනයෙන් ණය ලබාගැනීමට අදාළව හුවමාරු වූ සියළුම ලියකියවිලි වත්මන් රජය සතු බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ණය සඳහා වැඩි පොලියක් ගෙවීමට සිදුවී ඇති බව තමා පවසන්නේ වගකීමෙන් බවත් ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.

    අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි අධික පොලී අනුපාතයකට හම්බන්තොට වරාය සඳහා ණය ලබාගැනීම පිළිබඳව තමන් චීන පාර්ශවයට ඇඟිල්ල දිගු නොකරන බවයි.

    කෙසේවෙතත්, මෙම ණය වෙනුවෙන් ඩොලර් වලින් වැඩි පොලියක් ගෙවීමට සිදුවී තිබෙන නිසා රටට අවාසියක් සිදුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    මේ අතර, 2014 වසරේදී මෙරට සෑබෑ ආර්ථික වර්ධනය සියයට 4.5 ක් බවටත් 2013 වසරේදී එය සියයට 3.4 ක් බවටත් තමා ප්‍රකාශ කළේ පසුගිය රජය විසින් 2011 වසරේදී ආරම්භ කළ යාවත්කාලීන කිරීමේ වැඩසටහනට අනුව යමින් බවත් ආර්ථික වර්ධනය අඩුයැයි ජනතාවට ඒත්තු යන නිසා මෙම යාවත්කාලීන කළ දත්ත ඔවුන් ඉදිරිපත් නොකළ බවත් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

    “මෙම යාවත්කාලීන කිරීම ආරම්භ කළේ ඔවුන්. මම වගකීමෙන් කියන්නෙ. මෙම වෙනස් කිරීම් අපි කළේ නෑ. අපි කළේ ඉදිරිපත් කිරීම පමණයි.“

    යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.