හම්බන්තොට වරායේ කර්මාන්ත වලට පාරිසරික නීති දැඩිවේ

    March, 18, 2014

    හම්බන්තොට වරායේ ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබෙන කර්මාන්ත වලට අදාළ පාරිසරික නිර්දේශයන් තවත් දැඩි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවත් මේ නිසා නැවත වතාවක් අදාළ සමාගම් වලට සිය ව්‍යාපෘති වලට අදාළ පාරිසරික වාර්තා සකස් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පැවසීය.

    හම්බන්තොට වරායේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා මේ වනවිට සමාගම් 11 ක් තෝරාගෙන තිබෙන අතර මෙම සමාගම් වලට රජය විසින් ඉඩම් ලබාදෙන්නේ කල්බදු ක්‍රමයටයි.

    මෙම සමාගම් විසින් ඩොලර් බිලියන 1.6 ක පමණ ආයෝජන සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර  පෙට්‍රෝලියම්, පෙට්‍රෝලියම් රසායනික ද්‍රව්‍ය, බහාලුම් පර්යන්ත, එල්.පී.ජී. වායුව ගබඩා කිරීම හා බෙදා හැරීම ඇතුළු කර්මාන්ත ආරම්භ කිරීමට මෙහිදී ආයෝජකයින් සූදානම් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කීය.

    ඉන්දියාවේ Advance Surfacants of India සමාගමට හම්බන්තොට වරායෙන් කල්බදු ක්‍රමයට ඉඩම් ලබාදෙන්නේ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රාගාරයක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ඩොලර් මිලියන 261ක පමණ මුදලක් ආයෝජනය කිරීමට සූදානම් වේ.

    Energy World International Ltd නැමති සමාගම සඳහා කල්බදු ක්‍රමයට ඉඩම් ලබාදීමට සූදානම් වන්නේ ද්‍රව ස්වභාවික ගෑස් පර්යන්තයක් සහ විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහායි. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.35 ක් පමණ ආයෝජනය කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

    මෙම ද්‍රව ස්වභාවික ගෑස් පර්යන්තය විසින් කරන නිෂ්පාදන කළාපයට අපනයනය කිරීමටත් ප්‍රවාහනය හා නෞකා සඳහා ස්වභාවික ගෑස් ලබාදීමටත් සැලසුම් කර ඇත.

    එසේම, අනාවරණය වන්නේ විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමට සූදානම් නිසා මෙගාවොට් 1200 ක ද්‍රව ස්වභාවික ගෑස් විදුලි බලාගාරයක්ද මෙම වරාය භූමියේ ගොඩ නැගීමට නියමිත බවයි.

    ද්‍රව ස්වභාවික ගෑස් මගින් විදුලිය නිපදවීම ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලසුමට ඇතුළත් නොවුණත් කෙයාන් සමාගම විසින් මේ වනවිට මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන ද්‍රව ස්වභාවික ගෑස් නිධි කිහිපයක්ම සොයාගෙන තිබේ.

    මෙම නිධි වාණිජ වශයෙන් ඵලදායී වුවහොත් 2017 වසරේ සිට ගෑස් ලබාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

    මේ අතර, ඩොලර් මිලියන 26 ක ආයෝජනයකින් රෑන්ක් බහාලුම් පර්යන්තය ඉදිකිරීමට නියමිතව ඇත්තේ බහාලුම් හැසිරවීමට, පෙටිරෝ රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීමට සහ ප්‍රති අපනයන පහසුකම් සඳහායි.

    හම්බන්තොට වරාය තුළ කල්බදු ක්‍රමයට ඉඩම් ලැබෙන තවත් සමාගමක් වන්නේ ලාෆ්ස් ගෑස් සමාගමයි. එයට ඩොලර් මිලියන 20 ක පමණ ආයෝජනයකින් අපනයනය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ගබඩාවක් සහ බෙදාහැරීමේ පහසුකම් ස්ථාපිත කිරීමට මෙම ඉඩම් හිමිවේ. ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමාගම අපනයනය සඳහා ඩොලර් මිලියන 1.14 ක පමණ ආයෝජනයකින් ලිහිසි ද්‍රව්‍ය මිශ‍්‍ර කිරීමේ යන්ත‍්‍රාගාරයක් ස්ථාපිත කිරීම හා බලශක්ති සිල්ලර අලෙවිකරණය කරනු ඇත.

    මෙම ආයෝජන අනුමත කර තිබෙන්නේ හම්බන්තොට වරායේ කර්මාන්ත පිහිටුවීම සඳහා දෙවන වර කැඳවූ අයදුම් පත් වලිනි. පළමු වර කැඳවූ අයදුම් පත් වලින් සීනි පිරිපහදුවක්, පෙටිරෝ රසායනික කම්හලක්, පොහොර අසුරන කම්හලක්, සිමෙන්ති අඹරන කම්හලක් සහ ගබඩා පහසුකම් ඇති කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලදී.