හම්බන්තොට ‘හයට් රීජන්සි’ ඉදිකිරීම් නවත්වයි – වෙන්කළ අරමුදල් කොළඹ හෝටලයේ වැඩවලට

    August, 18, 2016

    හම්බන්තොට 'හයට් රීජන්සි' හෝටලය ඉදි කිරීම සඳහා වෙන් කරනු ලැබ ඇති අරමුදල් ග්‍රෑන්ඩ් හයට් කලම්බු හෝටලයේ ඉතිරි ඉදි කිරීම් කටයුතු සඳහා අයෝජනය කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම යන රාජ්‍ය ආයතන විසින් සිනො ලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්ගලික) සමාගම හරහා එහි මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගමේ රුපියල් බිලියන 18.5ක අරමුදල් ආයෝජනය කරමින් 'ග්‍රෑන්ඩ් හයට් කලම්බු' හෝටලය ඉදි කිරීමේ කටයුතු 2012 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

    එහි ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර එකී සමාගමට අනුබද්ධ ආයතනයක් වන හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්) සමාගම යටතේ හම්බන්තොට ප්‍රදේශයේ 'හයට් රීජන්සි' නමින් තවත් හෝටලයක් ඉදි කිරීම පිණිස රුපියල් බිලියන 4 ක මුදලක් ආයෝජනය කිරීමට තීරණය කොට රුපියල් මිලියන 315ක පමණ මුදලක් ඒ සඳහා වියදම් කර ඇතත් අදාළ හෝටලය ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලැබ නොමැති බව රජය පවසා සිටී.

    මේ අතර රාජ්‍ය ආයතනවල මුදල් තම මූලික අරමුණුවලින් පරිබාහිර වාණිජ ව්‍යාපාරවල යෙදවීම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.