හම්බන්තොට Bunkering සිහිනයට ඉන්දියාව සහ සිංගප්පූරුවෙන් රතුඑළි

    September, 18, 2014

    ඉන්දියාව සහ සිංගප්පූරුව යන රට වලින් එල්ලවී තිබෙන දැඩි තරගකාරීත්වය හමුවේ ලංකාවේ නැව් වලට ඉන්ධන සැපයීමේ (Bunkering) සහ ගුවන් යානා වලට ඉන්ධන සැපයීමේ (Aviation Fuel) කර්මාන්තය පසුබෑමකට ලක්ව තිබෙන බව අනාවරණය වේ.

    මේ පිළිබඳව නවතම දත්ත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙම ක්ෂේත්‍රයේ අයකරන මිල ගණන් වැඩිවුවත් පසුගිය ජූලි මාසයේදී මෙම දෙඅංශයේම පසුබෑමක් ඇතිවී තිබෙන බවයි.

    මේ හේතුවෙන් 2014 ජූලි මාසයේදී ලංකාව විසින් සිදුකර තිබෙන ඛනිජ තෙල් නිෂ්පාදන (Petroleum products) අපනයනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 6.6 කින් අඩුවී ඩොලර් මිලියන 28.2 ක ආදායමක් ලබා ඇත.

    හම්බන්තොට වරාය මගින් නැව් වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය (Bunkering) ඉහළ නැංවීම සඳහා විශාල අවස්ථාවක් ඇතැයි ලංකාව අදහස් කර තිබෙන අතර මේ සඳහා නව තෙල් ටැංකි පද්ධතියක් පසුගිය ජුනි මාසයේදී විවෘත කළේය.

    මෙම තෙල් ටැංකි පද්ධතියේ ටැංකි 14 ක් තිබෙන අතර මින් අටක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය භාවිතා කරන්නේ නැව් වලට ඉන්ධන විකිණීම (Bunkering) සඳහායි. තෙල් ටැංකි තුනක් ඛනිජ තෙල් සංස්ථාව විසින් ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමට (Aviation Fuel) කල්බදු ක්‍රමයට (Leased ) ලබාගෙන තිබේ.

    මෙම කර්මාන්තයේ කළාපයේ දැවැන්තයින් වන ඉන්දියාව සහ සිංගප්පූරුවෙන් ලංකාවට දැවැන්ත තරගයක් එල්ලවී ඇති නිසා වඩාත් පිරිවැය කාර්යක්ෂමතාවයෙන් (Cost Effective) යුතු සේවාවක් ලංකාවේදී ලබාදීම මේ නිසා ඉතාමත් වැදගත් වේ.